දේශීය පුවත්

කොත්මලේ සහකාර ඉඩම් කොමසාරිස් චමිල ජයසිංහ CID අත්අඩංගුවට, Facebook හරහා අසත්‍ය ප්‍රචාර කළ බවට චෝදනා

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන චමිල ජයසිංහ ගෙලිඔය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මැයි 21 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ බව තහවුරු කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ 42 හැවිරිදි අදාළ සැකකරු විසින් මෙරට ප්‍රසිද්ධ වනාන්තර හෙළි පෙහෙළි කරන බව සඳහන් කරමින් “ව්‍යාජ ඡායාරූප” සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කර ඇති බවයි. එම ඡායාරූප පරීක්ෂා කිරීමේදී ඒවා පුද්ගලික ඉඩම් හෙළි කිරීම් අවස්ථාවල දී ගත් ඡායාරූප බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන ඇති බව ද සඳහන් කෙරුණි.

සැකකරු මැයි 22 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට කොත්මලේ ප්‍රදේශයේ සහකාර ඉඩම් කොමසාරිස්වරයා ලෙස චමිල ජයසිංහ සේවය කරමින් සිට ඇත.

“කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක්”

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සමාජ ජාල තුළ දැඩි ආන්දෝලනාත්මක කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. එහි අදහස් දක්වා ඇති බොහෝ දෙනා පවසන්නේ අත්අඩංගුවට ගෙන සිටින චමිල ජයසිංහ යනු කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු බවයි.

මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ තමන් අනාවැකි පළ කළ සේම මාණ්ඩලික නිලධාරී චමිල ජයසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

“අප මේ කොදෙව්වේ නිරතුරුව අත්දකින මහජන දේපොළ සොරාකෑමක් හෝ තම රැකියාව මතින් පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමේ අශිෂ්ඨ පිළිවෙත ඔහු කිසිවිටෙකත් අනුගමනය නොකරන ලද අතර සමාජයට පීඩාකාරී බලවතුන් ඉමහත් සේ පෙරැත්ත කලද කිසිදා දුගතිය හා අගතිය වෙනුවෙන් තම තනතුර පාවා දීමට ද ඔහු කිසිදු විටෙක ඉදිරිපත් නොවිණි.”

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය‌ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ පරිපාලන සේවයේ නිලධාරි චමිල ජයසිංහ වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි.

එම සටහනේ මෙසේද දැක්වේ.

“චමිල ජයසිංහ පරිසරයක් රැකගන්න සැබැ උනන්දුවක් තිබූ පරිපාලන නිලධාරියෙකි. ඔහු තමන්ට පඩි ගෙවන ජනතාවට සේවය කල අතර, දුෂිතයින්ට, පරිසරය විනාශ කරන්නන්ට ‘කරදරකාරයෙකු විය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඔහු සේවය කල නිසා විශේෂයෙන්ම ඌව පරණගම, රිදීමාලියද්ද, පස්සර වගේ තැන්වල වැඩ කල නිසා ද මම ඔහු නිලධාරියෙකු ලෙස දනිමි. ඔහු බොහෝ දෙනාට වඩා දක්ෂයෙකි. කැපවීමෙන් වැඩ කල අයෙකි. හල්දුමුල්ල පුා.දේ ලෙස ඔහු වරක් ගැටුනේය. එවර ඔහුගේ ස්ථාන මාරුවීම වලක්වන්නට මම මැදිහත්වීමි.

ආණ්ඩුව කරදරකාරී රාජ්‍ය සේවකයින් දඩයම ආරම්භ කර ඇත. එයට තවත් බොහෝ දෙනෙකු මුහුණ දෙනු ඇත. එයට එරෙහිව කටයුතු කිරීමට සියළු දෙනා මේ අවස්ථාවේ දී එක් විය යුතුව ඇත.”

Rivira FB Group Rivira Youtube
To Top