Environment

MV X-Press Pearl නෞකාවේ ගිනි නිවීමේ මෙහෙයුම් පුළුල් කෙරේ, විදෙස් කණ්ඩායම් කිහිපයක් දිවයිනට

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම්ලා ඇති රසායන ද්‍රව්‍ය සහිත එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වී තිබෙන ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුමට එම නෞකාව අයත් සමාගමේ ටග් යාත්‍රාවක් ද ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටී.

මේ අතර, ගින්නෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමක් මැයි 22 දින රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද එම නෞකාවේ දේශීය නියෝජිතයන් සඳහන් කළා. මේ වනවිට නෞකාවේ ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද එක්ව මෙහෙයුම් සිදුකරමින් සිටී.

මේ අතර ගිනි නිවීමේ කටයුතු සඳහා විදෙස් ටග් යාත්‍රාවක් ද එක්ව සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ද සිදුවීම නිරීක්ෂණය කරමින් සිටින අතර ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට සිදුවිය හැකි හානි පිළිබඳ වඩාත් අවධානයෙන් සිටින බව ඔවුන් සඳහන් කළා.

බලධාරීන් පවසන්නේ ගින්න යම් තරමකට පාලනය කළත් එහි ගබඩා කර ඇති රසායනික ද්‍රව්‍ය හේතුවෙන් අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි.

To Top