නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ජීප් රථ ආනයනය කර ලබාදීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වන බව “අරුණ” ඇතුළු ජාතික පුවත්පත් වාර්තා කර තිබේ.
එහි දැක්වෙන්නේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත “දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම” සඳහා මෙලෙස ජීප් රථ ලබා දීමට මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි. මෙතෙක් ක්‍රියාත්මක කළ තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තාවකාලිකව නතර කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයන සීමා තවදුරටත් පවත්වා ගෙන යන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බව ද එම වාර්තාවේ සඳහන්. එහෙත් තෝරාගත් වාහන සීමිත ප්‍රමාණයක් කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, වනජීවි හා වන සංරක්ෂණ ක්ෂේත්‍ර සඳහා කඩිනමින් ගෙන්වීමට සැලසුම් කර ඇති බව ද එමගින් වාර්තා කර තිබේ. එහි දී ගිලන් රථ 50ක්, වතුර බවුසර් 50ක්, ඩබල් කැබ් රථ 50ක්ද මිලදී ගැනීමට නියමිත බව ද වාර්තා වේ.
මීට අමතරව මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ලබාදීමට ද සැලසුම් කර ඇති බව එම වාර්තාවේ සඳහන් වුවත් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහන් නොවේ.
මෙලෙස ආනයනය කිරීමෙන් විදේශ විනිමය දුෂ්කරතා අවම කරගත හැකි බව අමාත්‍යාංශයේ අදහස වී ඇතැයි ද, මෙම වාහන මෙරට ප්‍රධාන පෙළේ වාහන සමාගමකින් මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා කර තිබේ. ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි අදාළ සමාගම වන්නේ “ටොයොටා ලංකා” සමාගමයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ජනතාව වෙත කරුණු පැහැදිලි කිරීම රජයේ වගකීමයි. ජනතාවට වාහන මිල දී ගැනීම දැඩි අසීරුතාවයකට පත්කර ඇති මොහොතක මැති ඇමතිවරුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් වාහන ගෙන්වීම කිසිවෙකු අනුමත නොකරයි. එවැනි තත්වයක් යටතේ මෙලෙස ගෙන්වනු ලබන බව කියන ජීප් රථ සම්බන්ධයෙන් ජනතාව වෙත පැහැදිලි කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් ඇත. ඒවා පිළිවෙලින් පහළින් දක්වමු.
මෙම වාහන ලබා දෙන්නේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම ද?
මෙම වාහන අයිති වන්නේ රජයට ද? අදාළ මන්ත්‍රීවරුවරුන්ට ද? නැතිනම් පෞද්ගලික සමාගමකට ද?
මෙම වාහන සඳහා මන්ත්‍රීවරුන් විසින් සිදුකළ යුතු ගෙවීම් කොපමණ ද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර මෙම වාහන වෙනත් අයටත් ලබා දෙන්නේ ද? එසේ නම් ඒ කාට ද?
එම වාහන සඳහා රජය විසින් වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල කොපමණ ද?
එම වාහන මිල දී ගැනීම සඳහා අදාළ පෞද්ගලික සමාගත තෝරාගත් ක්‍රමවේදය කුමක් ද?
පසුගිය යහපාලන ආණ්ඩුව යටතේ ද මෙවැනි උත්සාහයක් ක්‍රියාත්මක වූ අතර එමගින් යෝජනා වී තිබුණේ ආණ්ඩුවට සහය දක්වන අමාත්‍යධූර නොදරන මන්ත්‍රීවරුන් 58 දෙනෙකු සඳහා ජීප් රථ ලබා දීමේ යෝජනාවකි. ඒ සඳහා මාසිකව එක් වාහනයක් සඳහා රු. 700,000කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂිතව තිබූ අතර වසර 5ක් සඳහා මාසිකව වාහන 58ක් වෙනුවෙන් ගෙවීමට නියමිතව තිබූ මුදල රු. කෝටි 400කට අධිකයි. නමුත් එවකට කැබිනට් මණ්ඩලයෙන් ද අනුමත වූ අදාළ යෝජනාවට අනුව එම වාහන ලබා දීමට බලය පැවරුනු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ එවකට සිටි අමාත්‍යංශ ලේකම්වරයා ඊට අත්සන් නොකිරීම හේතුවෙන් එම ව්‍යාපෘතිය අතහැර දැමීමට යහපාලන ආණ්ඩුවට සිදුවිය. එමගින් රටට ඉතිරි වූ මුදල් රු. කෝටි 400කි.

