දේශීය පුවත්

වෛද්‍ය ලාංඡන හොරට ගසා වාහන පැදවූ 3ක් දැලේ

දිවයිනටම බලපාන පරිදි සංචරණ සීමා පනවා ඇති විට ‌අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දී ඇති අවසරයන් ඇතැම් පුද්ගලයින් විසින් අවභාවිතා කරනු ලැබිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැයි 24 දින පැවති රැස්වීමක දී බලධාරීන්ට පෙන්වා දුන්නේය. එබැවින් එවැනි අවස්ථා පිළිබඳ දැඩිව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ඒ අනුව, සිදුකළ මෙහෙයුම්වල දී අත්‍යවශ්‍ය සේවා කටයුතු වෙනුවෙන් අවසර ලබාදී ඇති කේෂ්ත්‍රයන් අවභාවිතා කළ පුද්ගලයින් තිදෙනෙකු මැයි 25 දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කළා.

නාරාහේන්පිට පොලිසිය ඉදිරිපිට මාර්ග බාධකයකයේදී සිදුකළ එවැනි ‌පරීක්ෂා කිරීමක දී වෛද්‍යවරයකු බව හගවා එම ස්ථානය හරහා යෑමට උත්සාහ කළ පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍ය ලාංඡනයක් සහිතව මෝටර් රථයක් ධාවනය කළ 39 හැවිරිදි පුද්ගලයෙකු බව ද වාර්තා වේ.

එසේම කොළඹ කොටුව ප්‍රදේශයේ දී සිදුකරන ලද සෝදිසි කිරීමක දී වෛද්‍ය ලාංඡනය සහිතව වාහනයක් ධාවනය කළ 28 හැවිරිදි පුද්ගලයෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුඳුවත්ත පොලිසිය විසින් විජේරාම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමක දී ද 46 හැවිරිදි පුද්ගලයෙකු වෛද්‍ය ලාංජනයක් සහිත වාහනයක් පදවමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙවැනි අවභාවිතා කිරීම් සොයා ඉදිරියටත් සෝදිසි කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top