MV X-Press Pearl නෞකාවේ සිදු වූ පිපිරීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ දෙදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
මැයි 25 දින නෞකා කාර්යමණ්ඩල සාමාජිකයින් 25 දෙනෙකු මුදාගෙන රට තුළට රැගෙනවිත් ඇති අතර ගිනි ගැනීමට ලක්වන නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු කණ්ඩායමක් රැසක් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.
කෙසේ වෙතත් ගින්න පාලනය කිරීම ඉතා අසීරු තත්වයකට පත්ව ඇති බව ද වාර්තා වන අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යමින් තිබෙනවා.
මේ අතර නෞකාවෙන් මුහුදට වැටුනු බහලුම් හා ඒවායේ අඩංගු මිනිස් සිරුරට අහිතකර විය හැකි ද්‍රව්‍ය පානදුර සිට හලාවත දක්වා වූ මුහුදු තීරයට ගොඩ ගැසීමට හැකි බැවින් ඒවා ඇල්ලීමෙන් හෝ ඒ අසළට යාමෙන් වළකින ලෙස මහජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ වනවිට ඇතැම් ප්‍රදේශවලට එවැනි සුන්බුන් ගොඩගසා ඇති අතර ඇතැම් පිරිස් එම ද්‍රව්‍ය රැගෙන යාමේ තත්වයක් ඇති බව ද ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙරලාරක්ෂක බලකාය සඳහන් කළේ මෙම ද්‍රව්‍ය ශරීරයේ ස්පර්ශ වීමෙන් පවා දැඩි සංකූලතා මතුවිය හැකි බැවින් එම ද්‍රව්‍යවලින් ඉවත් වී සිටින ලෙසයි.
නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් ටෝන් 25ක් ද අන්තර්ගත වී තිබූ බව වාර්තා වේ.

