දේශීය පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ලංකාවට පැමිණ ඇත්තේ අවදානම දැන දැනමයි, වරායන් 2කින් ප්‍රතික්ෂේප කරලා

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් ඔබ්බෙන් වූ මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ බව කියූ නෞකාව ‌පිළිබඳ නෞකා සමාගමේ ප්‍රධානියා විසින් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ ගෝලීය සමුද්‍රීය සිදුවීම් පිළිබඳ පුවත් හා තොරතුරු වාර්තා කරන Splash247 වෙබ් අඩවිය සමග අදහස් දක්වමිනි.

එම සාකච්ඡාවේ දී නෞකාව අයත් සමාගමේ විධායක සභාපති ටිම් හාර්ට්නෝල් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට ප්‍රබල බලපෑමක් එල්ලකරමින් පසුගිය මැයි 20 දින සිට ගිනි ගැනීමට ලක් වූ MV X-Press Pearl නෞකාව අනතුරට ලක්වීම පිළිබඳ ඉඟි පළ වූ මුල් අවස්ථාවේ දී ම හානිය වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තර වරායන් දෙකකට පිවිස බහලුම් ගොඩබෑමට අවසර ඉල්ලුව ද ඊට අවසර ලැබී නොමැති බවයි. ‌එලෙස ඉල්ලීම් සිදුකර ඇත්තේ ඉන්දියාවේ හසීරා වරායට හා කටාරයේ හමාද් වරායටයි. ගින්නට හේතුව ලෙස ඔහු පවසන්නේ දුර්වල බහලුම් ඇසිරීමයි. ඒ හේතුවෙන් එහි ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීමක් සේවකයින් නිරීක්ෂණය කර තිබූ බව ඔහු පවසනවා.

මීට මාස 3කට පෙර මෙහෙයුම් ආරම්භ කර ඇති බව කියන 2700ක පමණ බහලුම් ධාරිතාවෙන් යුත් MV X-Press Pearl නෞකාවේ ගින්න පිළිබඳ එලෙස මුලින්ම ‌ඉඟි පළ වී ඇත්තේ ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහස් ගණනක් දුරින් වූ අරාබි මුහුදේ දී බව ද ඔහු අනාවරණය කර තිබෙනවා. නෞකාවේ සම්පූර්ණ දිගම මේ වනවිට විනාශ වී ඇති අතර එහි හිමිකරුවන් උපුටා දක්වමින් අදාළ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, නෞකාව සම්පූර්ණ වශයෙන්ම හානි වී ඇති බවයි.

ඔහු අදාළ වෙබ් අඩවියට වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර තිබිණ.

”ශ්‍රී ලංකාවෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈත අරාබි මුහුදේදී කාර්ය මණ්ඩලය මෙම ACID කාන්දුව පිළිබඳ සොයා ගෙන තිබුණා. කාන්දුව හඳුනාගත් විට නැවේ කපිතාන්වරාය ඉන්දියාවේ හසිරා සහ කටාර්හි හමාඩ් යන වරායන් දෙකට ඇතුළු වී සැක සහිත බහාලුම් ගොඩබෑමට අවසරයක් ඉල්ලා තිබුණා. කොහොම වුණත් ඒ වරායන් දෙකෙන්ම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ අනුව නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුණා.”

නාවික විශේෂඥයින් පවසන්නේ වත්මන් තත්වය අනුව දින කිහිපයක් තුළ නෞකාව මුහුදුබත් වන බවයි. ඒ අනුව සිදුවීමට නියමිත පරිසර විනාශය අවම කර ගැනීමේ සැළසුම් සම්බන්ධයෙන් හා හානිය වෙනුවෙන් වන්දි අය කරගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ බව විශේෂඥයින් පෙන්වා දෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top