කොවිඩ්-19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ක්‍රියාත්මක මොහොතක ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලිස් නිලධාරීන් විසින් වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කිරීම මේ දිනවල සිදුවේ. එහි දී පොලීසිය විසින් මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කරන ආකාරය මේ දිනවල දී සුලභ දසුනක් වී ඇත.
ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් සියලු පොලිස් නිලධාරීන් වෙත මැයි 27 දින ලිපියක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ වහාම එවැනි කටයුතු සිදු කිරීමෙන් වැළකී පොලීසියේ කීර්තිනාමය ආරක්ෂා වන පරිදි රාජකාරි කටයුතු සිදු කිරීමට වගබලාගන්නා ලෙසයි.
එම සම්පූර්ණ ලිපියේ උපුටා ගැනීමක් පහතින්.
“කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සංචරණ සීමා පනවා ඇති මෙම අවස්ථාවේ දී පොලිස් නිලධාරයන් විසින් මාර්ග බාධක ආදී රාජකාරීවලදී වාහන සහ පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකරනු ලබයි.
එවැනි පරීක්ෂා කිරීම්වලදී සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් පොලිස් නිලධරයන් මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට පරිභව කිරීම සිදුකරන දර්ශන මාධ්‍ය ඔස්සේ වරින් වර ප්‍රචාරය වන බවට නිරීක්ෂණයට ලක්වී ඇත.
මෙමගින් එලෙස පරිභවයට ලක්වන තැනැත්තන්ගේ ආත්ම ගරුත්වයට කැළලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට ලක්වන අතර ම එවැනි ක්‍රියා මගින් පොලිසිය පිළිබඳව ද ඇති වන්නේ අගතිදායී තත්ත්වයකි. පොලිසියේ කීර්ති නාමයට ද එය බලවත් හානියකි.
මේ අනුව වාහන හා පුද්ගලයන් පරීක්ෂා කිරීම ද නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම ද සිදුකළ යුතු නමුත් මහජනතාව වෙත එලෙස පරිභව කිරීම් හෝ ඔවුන් අපහසුතාවට පත්වන ආකාරයට ක්‍රියා කිරීම වහාම නතර කළ යුතු බවට දන්වා සිටිමි.
මේ පිළිබඳව සෑම පොලිස් නිලධාරයකුම දැනුවත් කළ යුතු අතර එවැනි පරිභව කිරීම් හා / හෝ මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්‍රියා කිරීම් නොකළ යුතු බවට සෑම පොලිස් නිලධාරයකු ගේ ම සාක්කු සටහන් පොත්හි සටහනක් එම නිලධාරයා මගින් යෙදවීමට ද ක්‍රියා කළ යුතුය.
තම කොට්ඨාසය තුළ සියලුම නිලධාරීන්ගේ සාක්කු සටහන් පොත්වල සටහන් යෙදූ බවට සියලුම කොට්ඨාස භාර නිලධාරීන් විසින් තම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත දැනුම්දිය යුතු අතර, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් තම පළාතේ සියලු නිලධරයන් මෙම උපදෙස් සටහන් කරගෙන ඇති බවටත්, 2021.05.28 දින පැය 1800ට පෙර ‘රථවාහන පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති’ මගින් මා වෙත දැන්විය යුතු බව වැඩිදුරටත් දන්වා සිටිමි.
වාහන හා පුද්ගලයන් පරීක්ෂා කිරීමේදී සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙලෙස මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට ක්‍රියා කරන අවස්ථා පිළිබඳව මින් ඉදිරියට මාධ්‍ය මගින් ප්‍රචාරය වන අවස්ථාවක් නිරීක්ෂණය වුවහොත් අදාළ නිලධරයන්ට එරෙහිව මෙන්ස දුර්වල අධීක්ෂණය සම්බන්ධයෙන් අදාළ මු. පො. ප / ස්ථානාධිපතිට විනය පියවර ගන්නා බවද වැඩිදුරටත් දන්වා සිටිමි.”

