Covid-19

නිරෝධායන නීති නොතකා පාටි දැමූ බව කියූ චන්දිමාල්ට හා පියුමිට ඇප

ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනියක වන පියුම් හංසමාලි නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා මත කොටුව පොලිසිය විසින් මැයි 31 දින දහවල් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ කොළඹ ප‍්‍රධාන හෝටලයකදී උපන්දින සාදයක් සංවිධානය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

එසේම නඩුවට අදාළ වැඩිදුර විභාගය ජූලි 21 දින සිදු කිරීමට ද අධිකරණය නියම කර ඇත.

එසේම සමාජ ජාල තුළ පළවන සටහන් අනුව එලෙස පැවැත්වූ බව කියන සාදය සඳහා 50ක පමණ පිරිසක් සහභාගී වූ බවට පැවසුන ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ චන්දිමාල් හා පියුමි ‌යන දෙදෙනා පමණයි.

මේ අතර ‌මැයි 31 දින පෙරවරුවේ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවී විඩියෝවක් හරහා ප්‍රකාශයක් සිදුකරමින් චන්දිමාල් ජයසිංහ පවසා සිටියේ තම ජන්ම දිනය වෙනුවෙන් තමන් සිය පවුලේ අය සමග පන්සලකට පැමිණි බවයි. සිය මෝටර් රථයේ සිට සජීවී ලෙස පළ කළ එම වීඩියෝව ද මේ වනවිට තම ෆේස්බුක් පිටුවෙන් ඉවත් කිරීමට ඔහු විසින් කටයුතු කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top