Covid-19

නිරෝධායන නීති කඩ කරමින් පොලීසියේ දී කේක් කැපූ කුරුණෑගල නගරාධිපති සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වෙලා නෑ

කුරුණෑගල පොලිසිය විසින් පොලිස්ථාන පරිශ්‍රයේ සංවිධානය කර තිබෙන සත්දින පිරිත් සජ්ජායනාවක් පැවැත්වෙන අතරතුර මැයි 30 දින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණගේ උපන්දින සැමරුම සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඒ සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම ‌හේතුවෙනි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ සඳහන් කළා.

මැයි 31 දින දෙරණ මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය වූ වැඩසටහනකට සහභාගී වෙමින් ‌නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිදුවීමට පොලීසිය සම්බන්ධ වීම සිදු නොවිය යුතුව තිබූ කි‍්‍රයාවක් බවයි. එසේම මේ සම්බන්ධයෙන් පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇති බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ පිරිත් කටයුතු පැවැත්වීමට අවසර දී ඇති බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම උපන්දින සාදයට සහභාගී වූ ‌සහකාර පොලිස් අධිකාරිවරයා වෙනස් ප්‍රදේශයකට මාරු කර යවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ පිරිත් සජ්ජායනාවට පැමිණ සිටි නගරාධිපතිවරයා මුහුණු ආවරණ ද ඉවත් කරමින් කේක් කපා සිය උපන් දිනය සමරන අයුරු වීඩියෝගත වී ඇති පසු බිමක මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක වී නොතිබීම විමතියට කරුණක්.

නගරාධිපති තුෂාර සංජීව යනු කවුද?

මෙම සිදුවීමට සම්බන්ධ කුරුණෑගල නගරාධිපතිවරයා පසු ගිය කාලයේ ද දැඩි කතාබහට ලක් වූයේ ‌කුරුණෑගල පෞරානික ගොඩනැගිල්ලක් කඩ දැමීම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදීත් අත්අඩංගුවට ‌ගැනීමට නොහැකි වීම නිසාය. එවකට එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කර තිබුණේ නගරාධිපතිවරයාගේ මයිලකටවත් හානියක් සිදුවීමට ඉඩ නොතබන බවටයි. කෙසේ වෙතත් පසුව අභියාචනාධිකරණයෙන් නගරාධිපතිවරයා එම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබුණා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top