කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ MV X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යෑමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුනි 01 දින නියෝග කර තිබෙනවා.
ඒ නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මැයි මස 09 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 19 වනදා කොළඹ වරාය ආසන්නයට නෞකාව පැමිණීම දක්වා සියලු තොරතුරු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් සාකච්ඡාවේ දී අනාවරණය කර ඇත.
මෙහිදී ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දුන්හ. එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බව ඔවුන්ගේ යෝජනාව විය.
ඒ අනුව තාක්ෂණික කාරණා පදනම් කර ගනිමින් නීතිපතිවරයාගේ ද උපදෙස් මත, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ගනු ලබන තීරණය තාක්ෂණික කරුණු මත පමණක් පදනම් විය යුතු බව සහ දේශපාලන කාරණා ඒ සඳහා අදාළ කර නොගත යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, නාලක ගොඩහේවා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, නීතිපති සංජය රාජරත්නම්, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු, නාවුක හා ගුවන් හමුදාපතිවරු, වරාය, සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය, නාරා ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු ද එක්ව සිටියහ.

