කොවිඩ්-19

චීනයේ සිනොවැක් එන්නතටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

කොවිඩ් – 19 වෛරසය සඳහා චීනියේ සිනොවැක් සමාගම විසින් නිපදවා ඇති ප්‍රතිශක්තීකරණ එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

‘සිනොවැක්’ එන්නත ආරක්ෂිත, ඵලදායී හා ගුණාත්මක බව සහතික කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් නිවේදනය කළේ ජුනි 01 වැනි දින පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම එන්නත පහසුවෙන් ගබඩා කිරීම හේතුවෙන් අවම සම්පත් සහිත පරිසරයට ඉතා සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

මෙම එන්නත, ‘කොවිඩ් 19’ කොරෝනා වෛරසයට එරෙහිව චීනය නිපදවූ දෙවැනි සාර්ථක එන්නතයි. චීනයේ අනෙක් සාර්ථක එන්නත වන්නේ ශ්‍රී ලංකාවේ ද භාවිතයට ගැනෙන ‘සයිනොෆාම්’ එන්නතය. ‘සයිනොෆාම්’ එන්නත ද හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දී ඇත.

‘සයිනොෆාම්’ එන්නත සේම, මෙම ‘සිනොවැක්’ එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දීමට පෙර දැනටමත් රටවල් රැසක් මෙම එන්නත භාවිතයට ගනු ලබයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top