Updated: මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ රියදුරු ජුනි 02 දින කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ දී අන්තරාදායක ලෙස රිය පැදවීම යන කාරුණු හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි.
මැයි 30 රාත්‍රියේ දී කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ පැවති සාදයකට අදාළව චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි යන අය කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ඇප මත නිදහස් වී අධිකරණයෙන් පිට වී යාමේ දී ඔවුන් ගමන් කළ ප්‍රාඩෝ රථය උසාවිය ඉදිරිපිට තිබූ කහ ඉර (සුදු ඉර) කපා ආපසු හරවා යෑම මාධ්‍යවේදීන්ගේ කැමරා තුළ සටහන් වී තිබුණා.
මේ සම්බන්ධයෙන් සමාජ ජාල තුළ ප්‍රබල කතිකාවක් නිර්මාණය වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයක දී චන්දිමාල් ජයසිංහගේ රියදුරු අන්තරාදායක ලෙස රිය ධාවනය කරන අයුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
සැකකරු ජුනි 02 දින අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම හේතුවෙන් රු 12,500ක දඩ මුදලක් නියම කර තිබෙන බව මුලින් වාර්තා වුවත් පසුව පැවසුනේ රු. 12,500ක මුදල් ඇපයක් මත මුදා හැර ඇති බවයි.

