ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2021 මාර්තු 26 දින අත්අඩංගුවට ගෙන ඇති මවුලවිවරුන් දෙදෙනෙකු වෙත නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව සාක්ෂි ලබාදෙන ලෙස විමර්ශන කණ්ඩායම් බලපෑම් කරමින් සිටින බව මවුලවිවරුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටින, නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව සාක්ෂි ලබාදෙන ලෙස සිය සේවාදායකයින් වෙත බලපෑම් කරමින් සිටින බව පවසමින් නීතිඥ එරික් බාලසූරිය සිය සේවාදායකයින් දෙදෙනා වන මවුලවිවරුන් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා. පෙත්සමෙන් නීතිඥ එරික් බාලසූරිය කියා සිටින්නේ අදාළ මවුලාවිවරුන් නීතිඥ හිස්බුල්ලාව නොදන්නා බව හා එම මවුලවිවරුන් දෙදෙනා අල්-සුහ්රියා මද්‍රසාවේ කිසිදු අන්තවාදී ඉගැන්වීමක් ද සිදු නොකළ බවයි.
මෙම මවුලවිවරුන් දෙදෙනා මැයි 31 දින කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට නීතිඥ එරික් බාලසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය වෙත දන්වා සිටියේ තම සේවාදායකයින් මහෙස්ත්‍රාත්වරයා වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අදහස් කරන බවයි. කරුණු සළකා බැලීමෙන් පසුව, නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට අධිකරණය නියම කළා.
ඒ අනුව, ජුනි 01 දින මවුලවිවරුන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහි දී සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පෙනී සිටියා.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දුන්නේ මවුලවිවරුන් දෙදෙනා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර ඇති බවයි. එසේම එම පෙත්සම් මගින් නීතීඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව සාක්ෂි ලබා දෙන ලෙස විමර්ශන නිලධාරීන් ඔවුන්ට බලපෑම් කර ඇති බවට එම පෙත්සම් දෙකෙහි සඳහන් වන බව ද ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්තිරන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
එසේම, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට ප්‍රකාශයක් කිරීමට තම සේවාදායකයින් සූදානමින් සිටින බව ද ජනාධිපති නීතීඥවරයා අධිකරණය වෙත දැනුම් දුන්නා.
ඒ අනුව, මවුලවිවරුන් දෙදෙනා පීසීආර් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ජුනි 15 දින යළි අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

