News

දක්ෂිණ අධිවේග මාර්ගයේ කඩුවෙල පිවිසුම ජලයෙන් යට වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම ජලයෙන් යට වී ඇති බැවින් කඩවත සිට පැමිණෙන සැහැල්ලු වාහන කඩුවෙලින් පිට වීමට නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා සිටියි.

එබැවින්, එම වාහන පිටවීම සඳහා අතුරුගිරිය දක්වා ගමන් කළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරත් සඳහන් කරයි.

මේ අතර, කැළනි ගඟ අවිස්සාවේල්ල, හංවැල්ල සහ නාගලම්වීදිය ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ යමින් පවතින අතර ඉදිරි පැය 04ත් 05ත් අතර කාලය තුළ පිටාර යනු ඇති බවට වාරිමාර්ග දෙපාර්තුමේන්තුව අනතුරු අඟවයි.

එබැවින් අවිස්සාවේල්ල, බියගම, සීතාවක, කොලොන්නාව, කැලනිය, කඩුවෙල සහ තොටළඟ ප්‍රදේශවල මාර්ග රැසක් ද ජලයෙන් යට වීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, අත්තනගලු ඔය ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ හා ජා ඇළ යන ප්‍රදේශ ජලයෙන් යට විමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top