තාක්ෂණය

රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව කියූ පුවත් බොරු

රජයේ වෙබ් අඩවි වෙත කිසිදු සයිබර් ප්‍රහාරයක් එල්ලවී නොමැති බව ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ජුනි 04 දින සඳහන් කළා. ඒ “ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය” නම් පුද්ගලික සංවිධානයක් විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

ජනපති කාර්යාලයේ වෙබ් අඩවිය ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවි කිහිපයකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් “ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය” ජුනි 04 දින සඳහන් කර තිබුණා.

එම සංගමය එහි සඳහන් කර තිබුනේ, ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තුමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.

එමෙන්ම, රජයේ වෙබ් අඩවි වෙත මෙලෙස සයිබර් ප්‍රහාර එල්ල විය හැකි බවට ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දුන් නමුත් රජය ඒ සම්බන්ධව අවධානය යොමු නොකිරීම මත මෙම තත්ත්වය උදා වි ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෙය ව්‍යාජ තොරතුරක් බැවින් මෙය බෙදාහරිනු ලැබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් ශ්‍රී ලංකා පොලිසියේ පරිඝනක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම නිවේදනය උපුටා දක්වමින් ඇතැම් වෙබ් අඩවි “ජාතික ආරක්ෂාව අනතුරේ” බව හැඟෙන අයුරින් මාධ්‍ය වාර්තා පළ කර තිබූ අතර ඇතැම් වෙබ් අඩවි විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂට ඩිජිටල් තාක්ෂණ ඇමතිධූරයට ලැබීම හා මෙම සිදුවීම සම්බන්ධ කරමින් පුවත් පළ කිරීම් සිදුකර ඇති බව දක්නට ලැබුණා.

Rivira FB Group Rivira Youtube
To Top