දේශීය පුවත්

සූරියවැව සය හැවිරිදි දැරිය පැහැර ගැනීම පියාගේ සහ බාප්පාගේ වැඩක්

හම්බන්තොට, සූරියවැව, බැද්දෙවැව, නුගේකන්ද, පදිංචිව සිටි වයස අවුරුදු 6ක දැරියක් පසුගිය ජුනි 04 වැනි දින යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙක් විසින් ගිනි අවි අවියක් පෙන්වා නිවැසියන් බිය ගන්වා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දැරියගේ පියා සහ බාප්පා සූරියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබෙන අතර ඉදිරි නඩු විභාග සඳහා යළිත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබෙනවා.

මෙම දැරිය තමා සමඟ ජුනි 04 වන දින අලුයම නිවසේ නිදා සිටින අවස්ථාවේ යතුරු පැදි දෙකකින් මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් සිව් දෙනෙකු නිවසට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා නිවැසියන් බිය ගන්වා දැරිය පැහැරගෙන ගොස් ඇති බවට පියා විසින් සූරියවැව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව, සිදු කරන ලද පරීක්ෂණ අනුව දැරියගේ පියා විසින් සිදු කරන ලද පරස්පර විරෝධි ප්‍රකාශ හේතුවෙන් 32 හැවිරිදි දැරියගේ පියා සහ ඔහුගේ බාල සොයුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී, ඔවුන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මෙම පැහැර ගැනීමේ සිදුවීම සම්පූර්ණයෙන් ම එම දැරියගේ පියා සහ සොයුරා විසින් නිර්මාණය කරන ලද්දක් බවයි.

දැරියගේ මව මීට මාස එක හමාරකට පමණ පෙර වෙනත් පුරුෂයකු සමග විවාහ වී වෙනම ජීවත් වන අතර දැරිය සූරියවැව බැද්දෙවැව පිහිටි නිවසේ සිය පියා සහ පියාගේ මව්පියන් සමග ජීවත් වෙයි.

මෙම සිදුවීමට දැරියගේ මව හසු කර ඇයව පොලීසිය වෙත ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ. ජුනි 03 වන දින දැරියව සූරියවැව ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසේ නතර කර ජුනි 04 වන දින අලුයම දැරියව පැහැර ගැනීමකට ලක් වූ බවට දැරියගේ පියා විසින් සුරියවැව පොලීසියට පැමිණිලි කර ඇති බව ද හෙළිව තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තම වරද පිළිගැනීම හේතුවෙන් ශරීර ඇප මත නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top