දේශීය පුවත්

පොලිස් ජීප් රථයෙන් පැන්න පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

නිරෝධායන රීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ජුනි 06 දින සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලීසියට රැගෙන යන අතරතුර ජීප් රථයෙන් ඉවතට පැනීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පානදුරේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජුනි 06 දිනයේ දී ම මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය සඳහන් කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පොලිස් ජංගම රථයේ ගමන් කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ ජුනි 07 දින සඳහන් කළා. මේ සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයෙකු යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මිය ගිය පුද්ගලයා 42 හැවිරිදි වියේ පසුවන බවයි.

සංචරණ සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් අදාළ පුද්ගලයා පොලීසිය විසින් ජුනි 06 වැනි දින උදෑසන 09ට පමණ වත්තපොළ ප්‍රදේශයේ දී පානදුර උතුර පොලිස් ස්ථානයේ ජංගම රථයේ ගමන් කළ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිදුවීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා පවසා ඇත්තේ අදාළ සැකකරු ජීප් රථයේ පිටුපස දොර විවෘත කරගෙන ධාවනය වූ ජීප් රථයෙන් බිමට පැනීම නිසා තුවාල සිදුවූ බවයි. පසුව පානදුර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටි අදාළ පුද්ගලයාට අධිකරණය විසින් ඇප ලබා දීම ද සිදුකර තිබුණි. නමුත්, ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ඊයේ සවස 6.30ට පමණ මියගොස් තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මඟින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත්කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top