News

වැල්ලවායේ තරුණ අඹුසැමි යුවළකගේ සිරුරු නිදියහනේ තිබී හමුවෙයි

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් යාලබෝව ගම්මානයේ කුලී නිවෙසක නිදියහනේ තිබී තරුණ අඹුසැමි යුවළකගේ මළ සිරුරු වැල්ලවාය පොලිස් නිලධාරීන් විසින් ජුනි 06 වැනි දින සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 6 කනුව කුඹගොඩ ආර ඇඹිලිපිටිය ලිපිනයේ පදිංචි 35 හැවිරිදි ජි. ඩි. එරංග සඳරුවන් පෙරේරා හා මල්ගම්මන මාරක මාතලේ ලිපිනය සඳහන් ඔහුගේ විවාහක බිරිඳ වූ 21 හැවිරිදි එම්. ඩි. සුගන්ධිකා බණ්ඩාරනායක යන දෙදෙනා ය.

මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේ දේශීය වෙදකම සිදු කරමින් සිටි වෙද මහතෙකු වන අතර පොලීසියට ලද දුරකථන ඇමතුමක් මත සිදු කරන ලද සෝදිසියක දී මෙම අඹුසැමි යුවළගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයින්ගේ මරණ සම්බන්ධයෙන් වැල්ලවාය හදිසි මරණ පරික්ෂක එච්. එම්. ජේ. හේරත් මහතා විසින් හදිසි මරණ පරික්ෂණ කටයුතු සිදු කරන ලද අතර අදාළ නිවස ද නිරීක්ෂණයට ලක් විය.

එහිදී මළ සිරුරු සොයා ගන්නා ලද ඇඳ ආසන්නයේ තිබී ජංගම දුරකථන තුනක් කබඩ් එකක් මත තිබු රුපියල් 66,120ක මුදලක් ද සොයා ගන්නා ලදී.

එමෙන්ම, මිය ගිය වෙද මහතා විසින් ප්‍රතිකාර සිදු කරන ලද කාමරයේ තිබූ සිතුවමක් ද නිරීක්ෂණයට ලක් විය. අනතුරුව සිරුරු සොයා ගන්නා ලද කාමරය සහ ප්‍රතිකාර ලබා දීම සඳහා භාවිතා කළ කාමරය මුද්‍රා තැබීමට කටයුතු කරන ලදී.

මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top