කොවිඩ්-19

ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව වෙනුවට වෙනත් එන්නතක් ලබා දීමට තීන්දුවක් ගෙන නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සඳහා දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දීමට තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව, අදාළ එන්නතේ දෙවැනි මාත්‍රාව සඳහා ඒම එන්නත මෙරටට ලබා ගැනීමට නොහැකි වුවහොත් දෙවැනි මාත්‍රාව සඳහා ස්ප්‍රට්නික්, ෆයිසර් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් මාත්‍රා ලබා දීමට ශ්‍රී ලංකාවෙ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්(අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලෙස අදාළ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති අදාළ කමිටුව විසින් එය තීරණය කළ යුතු බවයි. ඒ අනුව, මෙතෙක් එවැනි තීරණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර නොමැති බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

මේ අතර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රංශය ජර්මනිය සමග තවදුරටත් සාකච්ඡා සිදු කරන බවයි. ඒ අනුව, ඉදිරි සතියක පමණ කාලය ඇතුළත දී අදාළ එන්නත් මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලැබෙනු ඇති බව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top