චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ජුනි 09 වන දින අලුයම චීනයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.
මෙය ශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන මෙරටට රැගෙන එනු ලැබූ දෙවන සයිනොෆාම් එන්නත් තොගයයි. පසුගිය ජුනි 06 වන දිනයේ දී ද සයිනොෆාම් එන්නත් මිලියනයක් දිවයිනට රැගෙන එනු ලැබුවා. එම එන්නත් තොගය දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික් රැසක හඳුනාගත් ජන කණ්ඩායම් වෙත ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ.
ජුනි 09 වන දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 869 දරණ ගුවන් යානයෙන් රැගෙන ආ එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරි රථ මඟින් ප්‍රවහනය කර තිබෙනවා.
මේ වන විට මෙරට පුද්ගලයන් 1,033,000කට පමණ “සයිනොෆාම්” එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය. සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබා දීම ජුනි 08 වන දිනයේ දී ආරම්භ විය.
එමෙන්ම, ගර්භණී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම ජුනි 09 වන දිනයේ දී පිළියන්දලින් ආරම්භ වීමට නියමිතයි.
