දේශීය පුවත්

ඉන්ධන මිලෙන් වැටුනු මිනිස්සුන්ට ගෑස්වලිනුත් අනියිද?

කිලෝ ග්‍රෑම් 12.5ක් වන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් පමණ ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

නමුත් එම ඉල්ලීම්වලට ඉඩ දීම සඳහා රජය මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් එම මිල ගණන් අධ්‍යයනය කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය අනුකමිටුවක් පත් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා පවසන්නේ එම කමිටුව මගින් ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටින බවයි. එම අධ්‍යයනය අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් වන තීරණය දැනුම් දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙරට ගෑස් අවශ්‍යතාවයෙන් 75%ක් පමණ සපුරන ලිත්‍රෝ ගෑස් සමාගමෙන් මේ පිළිබඳ කළ විමසීමක දී එහි සභාපති අනිල් කොස්වත්ත සඳහන් කළේ පවතින තත්වය අනුව අවම වශයෙන් රු.580ක මිල වැඩි කිරීමක්වත් අවශ්‍ය වී ඇති බවයි.

එමෙන්ම මෙරට ක්‍රියාත්මක අනෙක් ගෑස් සමාගම වන ලාෆ්ස් ගෑස් සමාගමෙන් කළ විමසීමක දී එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සඳහන් අවම වශයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 540 කින්වත් ඉහළ නැංවිය යුතු බවයි.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ දැඩි විවේචන ඉදිරිපත් කරමින් ජනතාව පෙන්වා දෙන්නේ කිසිඳු ආදායම් මාර්ගයක් නොමැතිව නිවසට වී සිටින තමන්ට මෙම වියදම් දරා ගැනීම ඉතා අසීරු කටයුත්තක් වී ඇති බවයි. ආදායම් මාර්ග අහිමි වී සිටින තමන්ට සිදුව ඇත්තේ “ගහෙන් වැටී සිටිය දී ගොන්නුන්ද ඇන යන තත්වයක්” බව ඔවුන් කියයි.

බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය අද දින නිවේදනය කළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාන් හැර අනෙකුත් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top