දේශීය පුවත්

“තෙල් මිල වැඩි කළේ ජනපති ප්‍රමුඛ කමිටුවකින්”, පොහොට්ටුවේ මහලේකම්ට පිළිතුරු දෙන ගම්මන්පිලගේ මාධ්‍ය හමුවේ සජීවී තොරතුරු මෙන්න

(යාවත්කාලීන වන වාර්තාවකි)

තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඍජුව වගකිවයුතු බව ජුනි 12 දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළා.

තෙල් මිල වැඩි කිරීමේ වගකීම පොහොට්ටුවෙන් ඇමති ගම්මන්පිල මත පටවයි – වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නැයි දන්වලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා බලශක්ති අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ මහලේකම්, නීතිඥ උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යංශයේ දී ජුනි 13 දින පස්වරු 2ට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා. එහිදී දක්වන අදහස් පිළිබඳ යාවත්කාලීන වන වාර්තාව පහතින්.

2.59 P.M. – පොහොට්ටු මහලේකම්ගේ නිවේදනය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ කිසිවක් නොදන්නා බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව අමාත්‍ය ගම්මන්පිල අවධාරණය කරයි.

2.53 P.M. – මීට වසර 5කට පෙර, සාගර කාරියවසම් නම් ප්‍රානියෙකු සිටින බවවත් තමන් නොදැන සිටි බවත් අද වනවිට තම නායක මහින්ද රාජපක්ෂගේ අත්සනින් නිකුත් වන තීරණය අභියෝග කිරීමට තරම් ප්‍රබල වූයේ කෙසේ ද යන්න ගැටළුවක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

2.48 P.M. – බලශක්ති අර්බුධය ඇති වූයේ තමන් නිසා නම් ඊට වගකිව යුත්තේ තමන් නම් ඒ පිළිබඳ තොරතුරු ඇත්නම් තමා සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස පොහොට්ටු මහලේකම් නීතිඥ සාගර කාරියවසම්ට අභියෝග කරන බව අමාත්‍ය ගම්මන්පිල සඳහන් කළා.

2.47 P.M. – අදාළ නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නොදන්නා බව ද අමාත්‍ය ගම්මන්පිල සඳහන් කළා. එසේම පක්ෂයේ බොහෝ ඇමතිවරුන් තමන්ට දුරකතනයෙන් අමතා අදාළ සිදුවීමේ දී තමන් සමග සිටින බව සඳහන් කළ බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

2.45 P.M. – ඉතිහාසයේ කෙදිනකවත් තෙල් මිල ඉහළ දැමීම බලශක්ති අමාත්‍යවරයා නිවේදනය කර නොමැති අතර මුදල් ඇමතිවරයා එය සිදුකරනු ලබන බව අමාත්‍ය ගම්මන්පිල සඳහන් කළා. නමුත් තම නායකයා වන අගමැතිවරයාගේ ගෞරවය වෙනුවෙන් තමන් එම නිවේදනය සිදුකිරීම භාරගත් බව සඳහන් කළා. එහෙත් පොහොට්ටුවේ මහලේකම්වරයා අගමැතිවරයාගේ ඡායාරූපයක් ද සමග නිකුත් කළ ලිපියෙන් එම නායකයාට අගෞරවයක් කර ඇති බව සඳහන් කළා.

2.43 P.M. – තෙල් මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවත් එය ලැබී ඇති බවත් ඒ පිළිබඳ නිවේදනය කිරීමේ දී එම මාධ්‍ය හමුවට අජිත් නිවාඩ් කබ්රාල් සහභාගී වූයේ මුදල් අමාත්‍යවරයා නියෝජනය කරමින් බවත් ඇමති ගම්මන්පිල සඳහන් කළා.

2.42 P.M. – ජුනි 09 දින ජීවන වියදම් අමාත්‍ය අනු කමිටුව රැස්වූ බවත් ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, නාමල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් හා ලසන්ත අලගියවන්න සහභාගී වූ බව උදය ගම්මන්පිල සඳහන් කළා.

2.40 P.M. – තමන් අමාත්‍යධූරය භාර ගැනීමෙන් පසු ලෝක වෙළඳපොලේ තෙල් මිල අවස්ථා කිහිපයක දී ඉහළ ගිය බැවින් තෙල් සඳහා පනවා ඇති බදු අවස්ථා 3ක දී ම අඩු කර ගැනීමට හැකි වූ බව සඳහන් කළා.

2.38 P.M. – තෙල් ප්‍රශ්නයට දිගු කාලීන විසඳුම වන්නේ මන්නාරමේ ඇති බව කියන තෙල් මූලාශ්‍ර යොදා ගැනීම බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2.37 P.M. – ප්‍රශ්නගත ප්‍රකාශය සිදුකළේ සාගර කාරියවසම් නම් එය “සාගරගේ පිස්සු කතා කියලා” බැහැර කළ හැකි ව තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. එහෙත් එම ප්‍රකාශය සිදුකරන්නේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂය බැවින් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතු බව ද ඔහු කියා සිටියා.

2.32 P.M. – මාධ්‍ය හමුව ආරම්භ කෙරුණි.

2.30 P.M. – මාධ්‍ය හමුව තවමත් ආරම්භ කර නැත.

2.25 P.M. – මාධ්‍ය හමුව ආරම්භ කිරීමට තවදුරටත් ප්‍රමාද වෙයි.

2.15 P.M. – මාධ්‍ය හමුව තවදුරටත් ප්‍රමාණ වෙයි.

2.00 P.M. – මාධ්‍ය හමුව ආරම්භ කිරීම පස්වරු 2.15 දක්වා ප්‍රමාද වන බව දැනුම් දී ඇත.

Rivira FB Group Rivira Youtube
To Top