දේශීය පුවත්

“අමාත්‍යවරුන්ට වඩා හොඳ වාහනවල රාජ්‍ය නිලධාරීන් යනවා කීම තක්කඩි ප්‍රකාශයක්”

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අති සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථ ගෙන්වීම සඳහා පවතින සූදානමක් ගැන විවිධ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස් අදහස් දක්වමින් සිටිනවා. මෙහිදී ඇතැම් අමාත්‍යවරුන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු රිවිර.lk සමග අදහස් පළ කළා.

හිටපු අමාත්‍යංශ ලේකම්වරයා සඳහා කළේ රාජ්‍ය නිලධාරීන් සඳහා අති සුඛෝපභෝගී රථවාහන ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවයි. මුදල් අමාත්‍යංශයෙන් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛ අනුව ඉහළම මිලක් සහිතව වාහන ලබාගත හැකිව තිබුණේ අමාත්‍යංශ ලේකම්වරුන්ට බව හිටපු අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දුන්නා. අමාත්‍යවරුන් සඳහා අවසන්වරට වාහන මිල දී ගැනීමක් සිදුව ඇත්තේ යහපාලන රජයේ අවසන් කාලයේ දී බව සිහිපත් කළ හිටපු ලේකම්වරයා පවසා සිටියේ ඒ යටතේ අමාත්‍යවරයෙක් සඳහා රු. කෝටි හතරාමාරකට ආසන්න මුදලක් වෙන්කර තිබූ බවයි. එහිදී රාජ්‍ය සේවයේ වසර 25-30ක පමණ සේවා කාලයක් සම්පූර්ණ කළ අමාත්‍යංශ ලේකම්වරයෙකුට වාහන ලබා ගැනීමේ දී මාසික වාරිකය රු.425,000ක උපරිමයකට යටත්ව මුදල් වෙන් කර තිබූ බවත් ඒ අනුව වසර 5ක් අවසානයේ අමාත්‍යංශ ලේකම්වරයෙකු වෙනුවෙන් ලබා ගන්නා වාහනයකට රු. කෝටි දෙකහාමාරක් පමණ ගෙවන බවත් එය ලීසිං ක්‍රමයක් බැවින් එලෙස මිල දී ගත හැක්කේ රු. කෝටි 1.7ක පමණ වාහනයක් බවත් හිටපු ලේකම්වරයා පෙන්වා දුන්නා.

රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙකු යනු විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගෙන අතිශයින් තරඟකාරී විභාගයකින් සමත්ව සේවයට එන පිරිසක් බවත්, ඔවුන්ට පෞද්ගලික අංශයට සම්බන්ධ වීමේ දී ලැබිය හැකි වැටුප් වරප්‍රසාද කිසිවක් නොලැබෙන බවත් පෙන්වා දුන් හිටපු ලේකම්වරයා පවසා සිටියේ මේ වනවිට දක්ෂ නිලධාරීන් සේවයේ රඳවා ගැනීම පවා අපහසු තත්වයක් ඇති වී තිබෙන බවයි. එහිදී හොඳ වැටුපක් නොලැබෙන එම නිලධාරීන්ට වෙන් වූ වාහනයක් රජයෙන් වාහනයක් ලැබෙන්නේ බොහෝ දුරට වසර 10ක පමණ සේවා කාලයකින් පසුව බව ද හිටපු අමාතයංශ ලේකම්වරයා පවසා සිටියා. නමුත් අවුරුදු 25න් පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරයෙකුට ඉතාමත් හොඳ තත්වයේ වාහන ලැබෙන බවත්, ඔවුන් නියෝජ්‍ය අමාත්‍යවරයන්, අමාත්‍යවරයන් බවට පත් වූ පසු අතිශය සැපවත් ජීවිතයකට ඇතුල් වන බවත් ඔවුන්ට රජයේ වියදමින් අතිසුඛෝපභෝගී වාහන, පෙර ගමන් රථ, පසු ගමන් රථ ලැබෙන බවත් හිටපු ලේකම්වරයා පෙන්වා දුන්නේ මහජන නියෝජිතයෙකු හා රාජ්‍ය සේවකයෙකු අතර පවත්වාගෙන යන විෂමතාවය මනාවට පැහැදිලි කරමිනි.

මහජන නියෝජිතයෙකු වැඩි වරප්‍රසාදත්, රාජ්‍ය සේවකයෙකු අවම ජීවන තත්වයකුත් හිමිවන ක්‍රමයක් දැනට පවත්වාගෙන යන බව සිහිපත් කළ හිටපු ලේකම්වරයා පෙන්වා දුන්නේ එම තත්වය මත දැනට රාජ්‍ය සේවයේ දක්ෂ නිලධාරීන් අවම පිරිසක් රැඳී සිටීමට හේතුව පැහැදිලි කරමින්.

මෙවැනි තත්වයක් තුළ රාජ්‍ය නිලධාරීන් විසින් අමාත්‍යවරුන්ට හිමිවිය යුතු වාහන භාවිතා කරන බවට කරන චෝදනා පිළිකුලෙන් යුක්තව ප්‍රතික්ෂේප කරන බවත් එලෙස අමාත්‍යවරුන්ට අයත් “සැප වාහන” භාවිතා කරන නිලධාරීන් සිටින්නේ නම් ඔවුන්ගේ නම් ගම් සහිතව හෙළිකරන්නැයි ද එවැනි ප්‍රකාශ නිකුත් කරන්නන්ට අභියෝග කරන බවත් පැවසුවේය.

එසේම අමාත්‍යවරයන් වෙනස් වූ අවස්ථාවලදී ආපසු ලබාදෙන නිලරථ අමාත්‍ය නිලධාරීන් විසින් භාවිතා කරන බවට මෙලෙස චෝදනා කරන්නේ තමන්ට වාහනයක් නොලැබුණු අමාත්‍යවරුන් නොවන බව ද හිටපු ලේකම්වරයා පෙන්වා දෙයි. ඔහු සඳහන් කළේ අමාත්‍යවරුන් සඳහා වාහන ලබා දීමේ දී සුඛෝපභෝගී රථ 2ක් සහ කැබ් රථයක් හෝ එවැනි රථයක් ලබා දීම අමාත්‍යංශ මගින් සිදුකරන බවයි. නමුත් ඇතැම් අමාත්‍යවරුන්ට 3න් වැනි රථය වෙනුවට ද අති සුඛෝපභෝගී රථයක් වුවමනා වූ අවස්ථාවලදී මෙවැනි ගැටුම් ඇතිවන බව ඔහු පෙන්වා දෙයි. එහිදී අමාත්‍යංශ ලේකම්වරයා භාවිතා කරන නිල රථය ද තම භාවිතය සඳහා ලබාදෙන ලෙස එක් එක් පුද්ගලයින් මගින් බලපෑම් කරන අවස්ථා ඇති බව ද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරුන් හා නිලධාරීන් භාවිතා කරන වාහන මොනවාද?

අමාත්‍යවරුන් සඳහා පහුගිය කාලය තුළ ගෙන් වූ මෝටර් රථ අතර වැඩි වශයෙන් පැවතියේ ටොයොටා ලෑන්ඩ්කෲෂර් VX V8 රථ වන අතර වීඩීආර්200, බී.එම්.ඩබ්ලිව් 7 සිරීස්,එක්ස් 5, අවුඩි ඒ 8, රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස්, ජගුවර්, බෙන්ස් ජීඑල්එස් 350, එස් 400 වැනි රථ ලබා ගන්නා බවත් ඔවුන් වෙත ලබාදෙන වාහන 2ක් ඉහත කාණ්ඩවලට අයත් වන බවත් හිටපු ලේකම්වරයා පෙන්වා දුන්නා.

අමාත්‍යංශ ලේකම්වරුන් සඳහා ටොයොටා ප්‍රාඩෝ රථයක්, බී.එම්.ඩබ්. 5 සීරීස් රථයක් හෝ බෙන්ස් රථයක් හිමිවන්නේ කලාතුරකින් බවත් බොහෝ අමාත්‍යංශ ලේකම්වරුන් ඊට වඩා පහළ මට්ටමේ මෝටර් රථ භාවිතා කරන බවත් සඳහන් කළා. බෙන්ස් වැනි රථයක් අමාත්‍යංශ ලේකම්වරුන් වෙනුවෙන් ගෙන්වන්නේ නැති බවත් ඒවා බොහෝවිට අමාත්‍යවරුන් භාවිතයෙන් ඉවත් කරන අවම වශයෙන් වසර 5ක්වත් පැරණි රථ බව ද ඔහු සඳහන් කළා.

අමාත්‍යංශවල ලේකම්වරුන් හැරුණුකොට අතිරේක ලේකම්වරුන් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා බොහෝ විට භාවිතා කරන්නේ කැබ් රථ හා සාමාන්‍ය මෝටර් රථ බවත් ඒවා බොහෝ දුරට ටොයොටා කොරොල්ලා, නිසාන් සිල්ෆි, ටොයොටා හයිලක්ස් වැනි සාමාන්‍ය වාහන බව ද හිටපු ලේකම්වරයා පෙන්වා දුන්නා. මුදල්, ආරක්ෂක වැනි අමාත්‍යංශ කිහිපයක තරමක් හොඳ වාහන ඇති බව ද හිටපු ලේකම්වරයා පවසා සිටියා.

මෙවැනි තත්වයක් තුළ අමාත්‍යවරුන්ට වඩා හොඳ වාහනවල රාජ්‍ය නිලධාරීන් යනවා කීම තක්කඩි ප්‍රකාශයක් බවත් රාජ්‍ය නිලධාරීන් හොඳ වාහන බලාගෙන රාජ්‍ය සේවයට පැමිණ නැති බවත් ඔවුන්ට එවැනි හොඳ වාහනයක් ලැබෙන්නේ නම් “අපිට වඩා හොඳ වාහනයක යන්න රාජ්‍ය නිලධාරීන් කවුද?” වැනි ප්‍රශ්න ඇසිය හැක්කේ තක්කඩි දේශපාලනඥයින්ට පමණක් බවත් රාජ්‍ය නිලධාරීන් යනු හොඳ අධ්‍යාපනයක් ඇති තරඟකාරී විභාගයක් සමත්ව පැමිණි, කැපවීමකින් සේවය සපයන පිරිසක් බවත් ඔවුන් හොඳ වාහනයක යාමට හිමිකමක් නොමැති “කිරෙන් බාල වූ පිරිසක්” නොවන බවත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයා පවසා සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top