දේශීය පුවත්

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇප

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත 2020 ජුලි 31 දින කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශානි අබේසේකර ඇප මත මුදා හැරීමට ජුනි 16 දින අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ඇප ලබා ගැනීම සඳහා අභියාචනාධිකරණය වෙත කරනු ලැබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ඇප ලබා දීම සඳහා නියෝගය නිකුත් කෙරුණි.

මාස 10කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන දෙදෙනා සම්බන්ධයෙන් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. යූ. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ පෙත්සම් විභාගය සිදුකර ඇත.

ශානි අබේසේකර වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා, සුගත් මෙන්ඩිස් වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස්, නීතිඥ චමින්ද අතුකෝරල අධිකරණයේ දී කරුණු දැක්වීය.

Rivira FB Group Rivira Youtube
To Top