Business

දැවෙන ගැටළුවකට විසඳුම්, මත්පැන් online Delivery මගින් ලබා ගැනීමේ නියමු ව්‍යාපෘතියකට අවසර

මාර්ගගත (Online) ක්‍රමයවේදය යටතේ නිවසටම මත්පැන් බෙදාහැරීම සඳහා නියමු ව්‍යාපෘතියකට මුදල් අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමි වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ජුනි 16 දින සඳහන් කළා.

සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ලැබුණු ඉල්ලීම් පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව හේතු රැසක් මත එම දෙපාර්තමේන්තුව විසින් ‌එවැනි අවසරයක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අනුමැතිය ලැබී තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා හේතුවෙන් මත්පැන් අලෙවිසැල් වසා දැමීමට නියෝග කර ඇති බවයි. ඒ අනුව, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය බරපතල ඉහළ ගොස් සමාජ ගැටළුවක් බවට පත්ව ඇති බව, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ එම ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැහැදිලි කළා.

මෙම තත්ත්වය යටතේ මාර්ගගත හෙවත් “ඔන්ලයින්” ක්‍රමය යටතේ නීත්‍යානූකූල මත්පැන් සාධාරණ මිලට ලබා දීම සඳහා ආයතන රැසක් සහ පුද්ගලයින් ගණනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව මෙම ඉල්ලීම මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ බව ද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙයින් ඇතිවිය හැකි අතුරු විපාක පිළිබඳ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දීර්ග ලෙස කරුණු විමසා ඇති බවයි. ඒ අනුව, අඩු වයස් පුද්ගලයින් මත්පැන් ලබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් විධිමත් රාමුවක් සකස් කිරීමෙන් අනතුරුව මේ සඳහා පූර්ණ අනුමැතිය ලබා දීම සිදුකළ හැකි බව ද එම ප්‍රකාශයකයා සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top