Politics

ගම්මන්පිල කෙරේ තිබූ විශ්වාසය භංග වූ බවට සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

කරුණු 10ක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, බලශක්ති අමාත්‍ය, නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිලට එරෙහිව සමගි ජනබලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරමින් සිටින බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, එස්.එම්. මරික්කාර, මනූෂ නානායක්කාර, අශෝක් අබේසිංහ, වරුණ ප්‍රියන්ත, කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසක් එම යෝජනාවට මේ වනවිටත් අත්සන් කර තිබෙනවා. ඉතිරි අත්සන් ලබා ගැනීමෙන් පසු එම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත බාර දීමට නියමිත බව සමගි ජනබලවේගයේ ප්‍රකාශයෙකු රිවිර.lk වෙත සඳහන් කළා.

එම කරුණු 10 පහතින්.

“බලශක්ති අමාත්‍ය, ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා කෙරෙහි විශ්වාස භංගත්වය

1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) ව්‍යවස්තාව ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ උත්තර දීමට බැඳී සිටින නමුත්, ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධානම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා ලිඛිතව සඳහන් කර ඇති පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව, බලශක්ති අමාත්‍ය ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් ඉන්ධන මිල ඉහල දැමීමට කටයුතු කර ඇති බැවින් ද,

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (1) ව්‍යවස්ථාවට අනුකූලව වනසේ, රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම උල්ලංඝණය කොට ඇති බැවින් ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වන ව්‍යවස්ථාවට අනනුකූලවන සේ මූලික යුතුකම් පැහැර හැර ඇති බැවින් ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වැනි ව්‍යවස්ථාව පරිදි ලබා දුන් ප්‍රතිඥාව කඩ කොට ඇති බැවින් ද,

3. ලෝක වෙළඳපොළේ ඛණිජ තෙල් මිල ඉතා අධික ලෙස පහත වැටුණු 2020 ජනවාරි මස සිට මේ දක්වා පැවති වසර එකහමාරකට ආසන්න කාලයක් තුළ මෙරට ඉන්ධන මිල අඩු නොකර ඉහළ මට්ටමක පවත්වාගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රජය ලැබූ ලාභය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් නොකළ බැවින් ද,

4. එසේ ලෝක වෙළඳපොළේ ඛණිජ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකරමින් ලබා දෙන බවට දුන් පොරොන්දුව ඉටු නොකළ හෙයින් ද,

5. එකී මිල වාසිය පදනම් කොටගෙන වසර දෙකක් තුල ඉන්ධන මිල වැඩි නොකිරීමට දුන් පොරොන්දුව ඉටු නොකළ හෙයින්ද,

6 .එකී මිල අඩුවිමේ වාසිය තෙල් මිල ඉහල යන විට දී භාවිතා කිරීමට රජය විසින් ස්ථාපනය කළ බවට ප්‍රකාශ කළ තෙල් මිල ස්ථාවර කිරීම සඳහා වූ අරමුදලට සිදුවූයේ කුමක්ද යන්න මෙම පාර්ලිමේන්තුවට සහ ජනතාවට දැන්වීමට අපොහොසත් වූ හෙයින් ද,

7. එකී මිල අඩුවීම තුල රජය ලැබූ ලාභය උපයෝගි කොටගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය බැංකුවටල ඇති ණයගැනි බවින් මුදාගැනිමට කටයුතු කිරීමට දුන් පොරොන්දුව ඉටු නොකළ හෙයින්ද,

8. ඉන්ධන මිල ඉහළ යාම සහ ඒ හා සමගාමීව සියළුම පාරිභෝජන භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය ඉහළයාමත්, ඒ හා සමගම උද්ධමනය ඉහළ යාමත් නිසා කොවිඩ් වසංගතය නිසා පීඩවට පත්ව ඇති ජනතාව ආර්ථික වශයෙන් තවදුරටත් පීඩාවට පත්වන හෙයින්ද,

9. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම තුළින් අපනයන කෙරෙහි සහ සමස්ථ ආර්ථිකයම කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකි වන බැවින් ද,

10. රජය පත්විමේ දී ලබා දුන් ජනතා න්‍යාය පත්‍රය, රජයේ ප්‍රතිපත්තීන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුව සහ අනියමින් උල්ලංඝණය කරමින් වරින් වර ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්ව ඇති මෙයින්, බලශක්ති අමාත්‍ය ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පිළිබඳව මෙම ගරු සභාවේ විශ්වාසනීයභාවය සම්පූර්ණයෙන්ම නොමැති බැවින්, තවදුරටත් බලශක්ති අමාත්‍යවරයාහට එම ධූරයේ කටයුතු කිරිමේ හැකියාවක් නොමැති බවට මෙම පාර්ලිමේන්තු යෝජනා සම්මත කරයි.”

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top