දේශීය පුවත්

පාර්ශව රැසක විරෝධය හමුවේ මත්පැන් ඩිලිවරි කතාවත් හබක්?

මාර්ගගත ක්‍රමවේදය යටතේ නිවසටම මත්පැන් ගෙන්වා ගැනීම සඳහා නියමු ව්‍යාපෘතියක් කිරීමට මුදල් අමාත්‍යංශයෙන් ප්‍රතිපත්තිමය අනුමැතියක් ජුනි 16 දින සුරාබදු දෙපාර්තමේන්තුව වෙත හිමිව තිබුණි.

මේ සම්බන්ධයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ඉල්ලා තිබූ අතර එම අනුමැතිය ලැබුණු වහාම අදාළ ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා අවශ්‍ය මුලික පියවර ද සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අවසන් කර තිබුණි.

නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු සංගම් හා පාර්ශව රැසක් මෙම තීරණයට එරෙහිව විරෝධය පළ කළ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් ද යොමු කරමින් ඔන්ලයින් ඔස්සේ මත්පැන් වෙළෙඳාමට අවසර නොදෙන ලෙස ඉල්ලා තිබුණි.

මේ අවස්ථාවේ මෙවැනි ක්‍රමවේදය ඔස්සේ මත්පැන් අලෙවි කළහොත් කොවිඩ් වසංගතය නිසා මතුවී ඇති ගැටලු තවත් උග්‍ර විය හැකි බව එම සංගමය තම ලිපියෙන් පෙන්වා දී ඇත.

මේ අනුව, අදාළ තීරණය තාවකාලිකව අත්හිටුවා අදාළ අංශ සමග සිදුකරන ලබන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයක් ගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාව තුළ දී මාර්ගගත (online) ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමේ අවසරය ලබා දීම සඳහා වන කොන්දේසි මාලාවක් ද සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබූ අතර ඒ යටතේ මත්පැන් විකිණීමට අවසර හිමිවන්නේ ජාලගත සුපිරි වෙලඳසැල්, (chain super markets) සහ සුරාබදු ර.බී. 4 බලපත්‍ර ලත් ස්ථාන සඳහා පමණක් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළා.

ඒ අනුව, මාර්ගගත (online) මත්පැන් අලෙවිය සඳහා තාක්ෂණ හැකියාව ඇති ආයතන වෙත ඒ සඳහා වන අවසරය ලබාදීමටත් අදාළ කොන්දේසි ප්‍රසිද්ධ කිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම වැඩපිළිවෙල යටතේ පරණ කරන ලද මත්පැන් කාණ්ඩයට අයත් දේශීය සහ විදේශීය මත්පැන් ලීටර් 5ක් එක් පුද්ගලයෙකුට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන අතර පැසවන ලද මත්පැන් කාණ්ඩයට ගැනෙනා බීර, රා, වයින්, සකේ ආදිය ලීටර් 12ක් වරකට එක් පුද්ගලයෙකුට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවනවා.

එසේම, මත්පැන්හල විවෘත කර තැබෙන කාලසීමාව වන උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා කාලය තුල පමණක් අදාළ ජාලගත වෙළඳාම් කටයුතු සිදුකළ යුතු වනවා.

Rivira FB Group Rivira Youtube
To Top