Covid-19

කොරෝනා පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරේ

කොවිඩ්-19 වසංගත තත්වය පවතින විට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධිවිධාන ඇතුලත් කොරෝනා වෛරස් රෝග (කොවිඩ්-19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි විසින් ජුනි 08 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නීතිඥ අරුණ ලක්සිරි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සමක් (S.C.S.D. NO. 24/2021) ජුනි 17 දින ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සළකා බැලුවා.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල

  • මුර්දු ප්‍රනාන්දු
  • යසන්ත කෝදාගොඩ
  • ඒ.එච්.එම්.ඩී නවාස්

එම පෙත්සමෙන් නීතිඥ අරුණ ලක්සිරි ඉල්ලා සිට තිබුණේ මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති අනුමත කිරීම සඳහා ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවටත් ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා සිටින්නේ “කොරෝනා වෛරස් රෝග (කොවිඩ්-19) (COVID-19) (තාවකාලික ප්‍රතිපාදන)” පනත් කෙටුම්පත 2021 මැයි 20 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය 2021 ජුනි 8 වන දින පාර්ලිමේන්තුවේ නියෝග පත්‍රයෙහි තබා ඇති බවයි.

පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ පනත් කෙටුම්පතේ 3 වන සහ 11 වන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 (ඈ), 12(1) සහ 106 යන වගන්තිවලට පටහැනි බවයි. එසේම, කොවිඩ් -19 තත්වයන් හේතුවෙන් අධිකරණයකට කටයුතු කළ නොහැකි විට විකල්ප අධිකරණයකට බලය පැවරීම සඳහා 3.1 වගන්තිය යටතේ බලය පවරා තිබීමෙන් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වී ඇති බවයි.

කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සඳහන් කළේ පනත් කෙටුම්පතට සංශෝධන ගෙන ඒමට නියමිත බවත් එම සංශෝධන කමිටු අවස්ථාවේ දී ම ඉදිරිපත් කරන බවයි.

පෙත්සම පහතින්

මීට අමතරව අදාළ පනත් කෙටුම්පතේ 12 (ආ) වගන්තිය මෙසේ දැක්වෙන බව ද සමාජ ජාල ක්‍රියාකාරිකයින් පෙන්වා දෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top