News

නිරෝධායන රීති කඩා සාද පැවැත්වු ළිඳුල නගරාධිපති ඇතුළු 7ක් අත්අඩංගුවට

නිරෝධායන රිති කඩ කරමින් තලවකැලේ ඉහළ කොත්මලේ ජලාශය ඉහළින් පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක සාදයක් පැවැත්වූ තලවකැලේ ළිඳුල නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු තලවකැලේ පොලීසිය මඟින් ජුනි 20 වන දින පස්වරුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගනිමින් සභාපතිවරයා විසින් සාදයක් පවත්වන බවට 119 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත තලවකැලේ පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් සභාපතිවරයා ඇතුළු අනෙක් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. සාදය සඳහා නගරාධිපතිවරයා පැමිණි කැබ් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර පොලීසිය එම ස්ථානයට යන අවස්ථාවේ දී සාදයට සහභාගී වූ තවත් පිරිසක් පලා ගොස් ඇති බව ද පොලීසියට තොරතුරු ලැබී ඇත.

සභාපතිවරයා ඇතුළු පිරිස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔවුන් සියළුදෙනා නිරෝධායනය සඳහා යොමු කිරීමට කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දී ඇති බව ද තලවකැලේ පොලීසිය සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top