රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුවෙහි පිහිටි නිවස ඉදිරිපිට ජුනි 21 වන දින පස්වරුවේ දී සිදු වූ වෙඩි තැබීමකින් ටිපර් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.
අදාළ වෙඩි තැබීම සිදු කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් විසින් ය. අදාළ පොලිස් කොස්තාපල්වරයා සහ ටිපර් රථ රියදුරා අතර මීට දින කිහිපයකට පෙර බහින්බස්වීමක් සිදුව තිබෙනවා. එම ටිපර් රථ රියදුරා ජුනි 21 වන දින ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී පොලිස් කොස්තාපල්වරයා විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
වෙඩි තැබීම සිදු කළ පොලිස් නිලධාරියා ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ටිපර් රථ රියදුරාගේ මෘත දේහය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
කෙසේවෙතත්, වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ සිට නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

