දේශීය පුවත්

නිවුස්ෆස්ට් අනාවරණයකට කොළඹ චීන තානාපති කාර්යාලයෙන් අපැහැදිලි පිළිතුරක්

නිවුස්ෆස්ට් වෙබ් අඩවිය විසින් තිස්සමහාරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ වූ පිරිසක් ඇඳ සිටි ඇඳුමක් සම්බන්ධයෙන් පළ කළ පුවතක් සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එයින් චීන තානාපති කාර්යාලය විමසා ඇත්තේ “සත්‍යාපනය සහ කරුණු පරීක්ෂා කිරීම මාධ්‍යකරණයේ තිබිය යුතු අනිවාර්ය කරුණක් නොවේද යන්නයි. “ක්ලික්බයිට්” හෝ “වැරදි තොරතුරු” මාධ්‍යයක විශ්වසනීයත්වයට හානි පමුණුවිය හැකි බව ද චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

නිවුස්ෆස්ට් ට්විටර් පුවත සමගින් ඉදිරිපත් කර ඇති සටහනින් චීන තානාපති කාර්යාලය අඟවා ඇත්තේ අදාළ ඇඳුම් අන්තර්ජාලය ඔස්සේ මිල දී ගැනීමට ඇති බවයි.

කෙසේ වෙතත් නිවුස්ෆස්ට් පුවතින් අනාවරණය කළ අවස්ථාවට “චීන ආරක්ෂක අංශ සහභාගී වීම” චීන තානාපති කාර්යාලය ඍජුව ප්‍රතික්ෂේප කර නොමැති වීම ද විශේෂත්වයක්.

නිවුස්ෆස්ට් වෙබ් අඩවිය ජුනි 22 දින අනාවරණය කර සිටියේ “චීන ලංකා හවුල් සමාගමකට පැවරී ඇති තිස්සමහාරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට පසුගිය දා අමුතු ඇඳුම් ලා ගත් පිරිසක් සම්බන්ධ වී සිටිනු දක්නට” ලැබුණු බවයි. එසේම එය එම “ඇඳුම චීන මහජන විමුක්ති හමුදාව භාවිත කරන කැළෑ ඇඳුම සමග සැසඳීමේදී යම් සමානතාවක් දක්නට” ලැබෙන බව ද නිවුස්ෆස්ට් පවසයි.

“තිස්සමහාරාම වැවේ ආරම්භ වී ඇත්තේ සිවිල් වැඩකටයුත්තක් වන අතර එවැන්නකට හමුදා කැළෑ ඇඳුමට සමාන ඇදුම් ලාගෙන සම්බන්ධ වී සිටින මොවුන් කවුරුන්ද ?” යන්න නිවුස්ෆස්ට් අදාළ පුවතින් ප්‍රශ්න කර තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top