දේශපාලන

පළමු කතාවෙන්ම රනිල් පාර්ලිමේන්තුව හොල්ලයි, වසංගත බලකාය ගැන දැඩි විවේචනයක්

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව අමතා සිදුකළ පළමු කතාවෙන්ම ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් සිදුකර තිබෙනවා. හිටපු අගමැතිවරයා මෙහිදී වැඩි වශයෙන්ම පෙන්වා දුන්නේ වසංගත තත්වය පාලනය කිරීම “අගමැතිවරයා අතට ගත යුතු” බවයි. ඊට පත් කර ඇති කාර්ය සාධක බලකාය අසාර්ථ වී ඇති බවත් යුද හමුදාපතිවරයා දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු පමණක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. නමුත් මේ වනවිට රට යම් මිලිටරිකරණයකට ලක්ව ඇති බව ද ඔහු කියා සිටී.

එම සම්පූර්ණ ප්‍රකාශයම පහතින් කියවන්න.

“ගරු කථානායකතුමනි,

අද මේ සභාවට පැමිණිලා යළිත් පාර්ලිමේන්තු ජීවිතයක් ආරම්භ කරන්න අවස්ථාව ලැබීම ගැන මං විශේෂයෙන්ම මගේ සතුට ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව ඔබතුමාටත් අපේ සභානායකතුමාටත්, අගමැතිතුමාටත්, විපක්ෂ නායකතුමාටත් අනික් පක්ෂ නායකයින්ටත් මං මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා.

මම අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ කථාවට ඇහුම්කන් දෙද්දී මට එකක් මතක් වුනා. ඔහු මේ ආණ්ඩුවෙන් බදු සහන දීලා තියෙනවා. ලොකු මිනිස්සුන්ට බදු සහන දුන්නා. පොඩි මිනිස්සුන්ට බඩගින්න දුන්නා. අද තියෙන තත්ත්වේ මොකද්ද කියලා බලමු. මට අතීතය ගැන වැඩිය කතා කරන්න උවමනා නැහැ. මට 2019 මේ රටේ විදේශ විනිමය සංචිතය තිබුනේ ඩොලර් කෝටි 700යි. අද ඩොලර් කෝටි 400කට අඩු වෙලා තියෙන්නේ.

මීට අමතරව, මට මතකයි අපේ උදය ගම්මන්පිල ඇමතිතුමාගේ ප්‍රකාශයක් මං කියෙව්වා. තෙල් සංස්ථාවේ තියෙන ණය, තෙල් සංස්ථාවට ඒ අවස්ථාව දුන්නේ නෑ ඒ ණය ගෙවන්න. ඒ ණය වෙන තැනකට ගත්තා. එතනත් තියෙනවා කෝටි 300ක් විතර. මේවා අපේ සංඛ්‍යා ලේඛනවලට එන්නේ නෑ. මේ දෙකම එකතු කරන්න. අනික බලන්න හදිසියේ ගන්න තියෙන්නේ අපේ වාණිජ බැංකු. වාණිජ බැංකුවල අද ණය තියෙනවා. එකක්වත් සංඛ්‍යා ලේඛනයේ නැහැ.

අද මේක අපේ රටට බලපානවා. මේ මාසේ අවසන් වෙනකොට ඩොලර් කෝටි 100ක ණය ගෙවන්න සිදුවෙලා තියෙනවා. තවත් තියේ කෝටි 200ක් විතර ගෙවන්න. කොහොමද මේවා ගෙවන්නේ. අපි බලාපොරොත්තු වෙනවා IMF, ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයෙන් කෝටි 78ක් ලැබෙයි කියලා. ඒක මේ අවුරුද්දේ ලැබෙයි ද එන අවුරුද්දේ ලැබෙයි ද අපි දන්නේ නෑ. ඒක ලැබෙනවා. ඊළඟට SWAP එකෙන් තව කෝටි 40ක් විතර ලැබෙනවා. බංග්ලාදේශයෙන් කෝටි 20ක් ලැබෙනවා. ඉතින් මේකෙන් කොහොමද අපි මේ වැඩකටයුත්ත කරගෙන යන්නේ.

මෙතන තියෙන්නේ අතීතය ගැන කථා කරන්න නෙමෙයි. අපි කථා කරන්න ඕනේ මෙකෙන් අපි ගොඩ එන්නේ කොහොමද? අපි කොහොමෙද විසඳුමක් හොයන්නේ? අවුරුදු දෙක තුනක් ඊට වඩා යන්න පුළුවන්. සමහරු කියනවා අවුරුදු 10ක් කියලා. ඒ වුනාට අපිට යම්කිසි විසඳුමක්, සැලසුමක් තියෙන්න ඕනේ. ආණ්ඩුව ඒක ඉදිරිපත් කරලා නැ.

ඇමතිතුමා කිව්වා මේක සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ වාරයක් ඇති කරමු කියලා. මං ඔබතුමා එක්ක සියයට සීයක් එකඟයි. ඒත් මොකද්ද ඔබතුමන්ලෑ විසඳුම. කොයි මාර්ගෙද අපි යන්නේ කියලා. මට අනික් අය වෙනුවෙන් කතා කරන්න බෑ. මම නම් කියන්නේ අපිට තියෙන්නේ අපිට තියෙන එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආපහු ගණුදෙනු කරන්න.

ඔබතුමන්ලා එකඟ නැත්නම් ඒ විකල්පය මොකද්ද කියලා අපිට කියන්න. විකල්පයක් නැතුව සංඛ්‍යා ලේඛන කතා කරන එකෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් නෑ. අනික මෙතන අද තියෙනවා. පොහොර ප්‍රශ්නේ තියෙනවා. අපිට තියෙනවා තෙල් ප්‍රශ්නෙ. අධ්‍යාපන ප්‍රශ්නෙ. ගණනාවක් මේ රටේ තියෙනවා. මේ ඔක්කොම එකතුවෙලා පිපුරුවොත් මොකද්ද රටට වෙන්නේ? ආණ්ඩුවක් නැති වෙනවා නෙමෙයි පාර්ලිමේන්තුව නැතිවෙනවා. අන්න ඒක මතක තියාගෙන අපිට අවස්ථාව දෙන්න මේ ගැන සාකච්ඡා කරන්න.

ඒ වගේම මං තව කාරණයක් තියෙනවා. මේකට පදනම වෙලා තියෙන්නේ ඇත්තටම කොවිඩ් වසංගතය. මොකද්ද අපි කරලා තියෙන්නේ කොවිඩ් වසංගතය ගැන. මං මෙතැන්ට එන්න ඉස්සෙල්ලා මගෙන් කොළඹ නගර සභාවේ නගරාධිපති ඉල්ලීමක් කළා අගමැතිතුමාට කියලා ලැබිලා තියෙන ඇස්ට්‍රාසෙනෙකාවලින් කොටසක් දෙන්න අර දෙවැනි වටයේ දෙන්න කියලා. මං එතුමියට කියන්නම් සභාවට කියන්න. ඔබතුමා ඒක කතා කරන්න ඔබතුමාට ඒකට මං ස්තූතිවන්ත වෙනවා.

ඒත් විශේෂයෙන්ම අද මොකද සිදු වෙලා තියෙන්නේ. එකක් කියන්න පුළුවන් මේ කාර්යසාධක බලකාය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. පටන්ගත්තු දවසෙ අද වෙනකන් මොකද්ද කියලා සෞඛ්‍ය ඇමතිතුමියගේ කතාවට ඇහුම්කන් දුන්නා නම් තේරෙනවා. මොකද්ද අපි කරන්නේ? මේ කාර්යසාධක බලකාය එක්ක ඉදිරියට යන්න බැහැ. අසාර්ථක වෙලා තියෙන්නේ. තව වැඩි වෙලා තියෙන්නේ. අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනේ කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වග කියන පාර්ලිමේන්තුවටයි. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්නේ නැත්තේ? බලතල තියෙන්නේ. ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තියේ ත්, හතරවැනි වගන්තියේ ත්, 43 වැන වගන්තියේ ත් මේ ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් මේ කැබිනට් මණ්ඩලයට පමණයි.

අගමැතිතුමාත් මෙතැන ඉන්නවා. ඇමතිවරුත් ඉන්නවා. ඔබතුමා භාර ගන්න ඕන. ඔබතුමා වැරදි වුනොත් අපිට පුළුවන් මෙතැන්ට ඇවිල්ලා කෑ ගහන්න. අඩු ගානේ පෝස්ටර් හරි උස්සන්න. ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාර නොදෙන්නේ?

අනික WHO සංවිධානය ඇතුළේ විශේෂඥ කණ්ඩායමක් ඉන්නවා Special Advisor Group on Experts. ලංකාවේ ඒක නෑ. එක කොමිටියක් තියෙන්නේ. ඒක භාර දීලා තියෙන්නේ දෙපාර්තුමේන්තු ප්‍රධානියෙක්ට. හමුදාපති කියන්නේ දෙපාර්තුමේන්තු ප්‍රධානියෙක්. කොහොමද එතුමා මේ වැඩකටයුතු කරන්නේ? ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිතුමන්ලාට නැත්නම් කැබිනට් මණ්ඩලයට පමණයි. දෙපාර්තුමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු. ඇමතිවරුන්ගේ තත්ත්වය අනුව.

ඇයි මේ බලතල ක්‍රියාත්මක නොවෙන්නේ? ඇයි මේ බලතල ක්‍රියාත්මක නොවෙන්නේ? අපි කියන්නේ ඒකේ නායකත්වය ගන්න. ව්‍යවස්ථාවෙන්. කාටවත් වෙන එක්කෙනෙක්ට ගන්න. එතකොට අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ මෙතැන ඉඳන් ඒ ගැන කතා කරන්න. අද මොකද්ද තියෙන සුදුසුකම.

අනික ඕනෑම රටක, ප්‍රජාතන්ත්‍රවාදී රටක කණ්ඩායම් තුනක් ඉන්නවා. දේශපාලන අධිකාරිය. ඒ තමයි, කැබිනට් මණ්ඩලය. ජනාධිපති, අගමැති, කැබිනට් ඇමතිවරු. සිවිල් බලය. ඒ තමයි සිවිල් පාලනය. ලේකම්වරුන්ගේ ඉඳන් පල්ලෙහාට. මිලටරි බලය. ඒ හමුදාව යුද්දෙට යොදවන එක. අද මිලටරි බලය අරගෙන, දැන් සිදුවෙලා තියෙන්නේ ඇත්තවශයෙන්ම රටේ පාලනය කරන එක. ඒක කරන්ට බැහැ. ඒක වැරදියි.

දැන් ඇත්තවශයෙන්ම වෙලා තියෙන්නේ කොවිඩ් විතරක් නෙමෙයි. අර ආයෝජන මණ්ඩලයේ සාකච්ඡාවට මුදල් ඇමතිතුමා ඉන්න තිබුණා. නැත්නම් රාජ්‍ය ඇමතිතුමා ඉන්න තිබුණා. ඒ මදිවට ඇවිල්ලා හමුදාපති කථා කරනවා. ඒක දැක්කාම හිටපු අයත් ගියා.

ඉතින් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. හමුදාපතිතුමාත් එක්ක. එතුමා මං එක්ක හොඳට ආශ්‍රය කරන මට උදව් කරලා තියෙනවා. ඒත් මේ වැඩ කටයුත්ත කරන්න බැහැ. මේක හමුදාකරණයකට යන්නේ. ඔබතුමන්ලා අරගන්නවා නම් කමක් නැහැ. ජනතාව ඔබතුමන්ලාට ඒ ජනවරම දුන්නා. ඒත් මේ ගැන අපිට විවාද කරන්න බෑ. ඒත් අපි ඔබතුමන්ලාට අපි දොස් කියන්නේ ඒ ජනවරම යොදවන්නේ නැතුව හමුදාකරණයකට, අර්ධ හමුදාකරණයකට යනවා. ඒ බලතල භාර දෙනවා කියලා.

ඉතින් මම මෙතැන කියන්නේ අගමැතිතුමනි අපි කැමතියි වෙලාවක, මම ඉල්ලනවා අපිට විවාදයක් දෙන්න මේ ව්‍යවස්ථානුකූල ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න. මොකද අපි අපේ දේශපාලනය එදිරිවාදිකම් තිබුණාට ව්‍යවස්ථානුකූලව කැබිනට් එක තමයි තීරණ ගන්න ඕනේ. ඒවා විවේචනය කරන්න අපිට පුළුවන්. විශ්වාසභංග යෝජනා ගේන්න පුළුවන්. මෙතැනට ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන්. ඒ දෙක කරන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා අපි ඉල්ලනවා වෙලාවක, මම ඉල්ලනවා, මං හිතනවා අනෙක් අපේ මිත්‍රයනුත් පාර්ලිමේන්තුවේ එකඟ වෙයි කියලා. මේ කැබිනට් මණ්ඩලයේ බලතල අතහැරීමත් ක්‍රියා නොකිරීමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත්, ජනවරම නැති කිරීම ගැනත් අපිට විවාදයක් දෙන්න කියලා මං ඉල්ලනවා.

මීට වඩා දීර්ඝ වශයෙන් මං කතා කරන්නේ නෑ. ඒත් යළිත් දෙපැත්තේ සියලුදෙනාටම ස්තූති කරමින් අර කරුණු එක්ක අපි සාකච්ඡා කරමු කියලා මගේ මිත්‍ර බන්දුල ගුණවර්ධන මැතිතුමාට ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය මං අවසන් කරනවා.”

Rivira FB Group Rivira Youtube
To Top