ක්‍රීඩා

Fearless ක්‍රිකට් ගැසූ ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට පහසු ජයක්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟ 3කින් සමන්විත 20යි 20 ජාත්‍යන්තර තරඟාවලියේ පළමු තරඟය ජුනි 23 දින එංගලන්තයේ සොෆියා ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේ දී පැවත්වුනා. මෙම තරඟයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පළමු පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දුර්වල පිතිකරණයක යෙදුනු අතර පළමු කඩුල්ල ලෙස පන්දු 4කට මුහුණ දී කිසිඳු ලකුණක් ලබා නොසිටි අවිශ්ක ප්‍රනාන්දු Curranගේ පන්දුවක් හමුවේ ජොර්ඩන් අතර උඩපන්දුවක් ලබා දෙමින් දැවී යද්දි ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කර තිබුණේ ලකුණු 3ක් පමණයි. අනතුරුව පිටියට පැමිණි කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක සමග එක්ව ලකුණු 28ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර පන්දු 16ක දී 4 පහර 3ක් සමග ලකුණු 19ක් රැස් කර සිටි ධනුෂ්ක ගුණතිලක ජොර්ඩන්ගේ පන්දුවක් හමුවේ කඩුළු රකින බට්ලර් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

ඉන්පසු පිටියට පැමිණි කුසල් මෙන්ඩිස්, සුපුරුදු පරිදි දුර්වල පිතිකරණයක යෙදීමෙන් අනතුරුව පන්දු 12කට මුහුණ දී කිසිඳු 4 හෝ 6 පහරක් නොමැතිව ලකුණු 9ක් රැස් කර සිටිය දී ලිවින්ග්ස්ටෝන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියේ කණ්ඩායමට තිබූ එකම “රිවීව්” අවස්ථාව ද අහිමි කරමින්. පසුව පිටියට පැමිණි ධනන්ජය ද සිල්වාට ද කඩුල්ලේ රැඳී සිටිය හැකි වූවේ විනාඩි 4ක් පමණයි. වුඩ්ගේ පන්දුවකට රෂීඩ් අතට උඩපන්දුවක් ලබා දී ධනන්ජය දැවී ගියේ පන්දු 4කට මුහුණ දී ලකුණු 3ක් ලබා සිටිය දීයි.

පසුව පන්දු 26ක දී 4 පහරක් සහ 6 පහරක් සමග ලකුණු 30ක් රැස්කරගෙන සිටි නායක කුසල් ජනිත් පෙරේරා රෂීඩ්ගේ පන්දුවකට ජෝර්ඩන් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියා. පන්දු 7ක දී ලකුණු 5ක් රැස්කරගෙන සිටි වනිඳු හසරංග ද රෂීඩ්ගේ පන්දුවකට ජෝර්ඩන් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර තරඟයේ අවසන් පන්දුවේ දී 6 පහර 2ක් සහ 4 පහර 3ක් සමගින් පන්දු 44ක දී ලකුණු 50ක් රැස්කරගෙන සිටි දසුන් ශානක ද දැවී ගිය අතර ඉසුරු උදාන නොදැවී ලකුණු 6ක් රැස්කරගෙන සිටියේ පන්දු 7කට මුහුණ දෙමින්. පන්දුවාර 20 අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 129ක් රැස්කරගත්තේ දැඩි පරිශ්‍රමයකින්.

ලකුණු 130 පහසු හා ජයග්‍රාහී ඉලක්කයක් හබා ගිය එංගලන්ත කණ්ඩායම පන්දු 17ක් ඉතිරිව තිබිය දී ලකුණු 130ක් රැස් කිරීමට සමත් වුවත් අනවශ්‍ය කලබලය හේතුවෙන් දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ධනුෂ්ක ගුණතිලක අතට උඩපන්දුවක් ලබා දෙමින් ජේසන් රෝයි දැවී ගියේ 6 පහරක් සහ 4 පහර 4ක් සමග පන්දු 22කින් ලකුණු 36ක් රැස්කරගෙන සිටිය දීයි. පළමු කඩුල්ල වෙනුවෙන් ජේසන් රෝයි සහ ජොස් බට්ලර් ලකුණු 80ක් එකතු කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි අසීරුතාවයකට පත් කරමින්. අනතුරුව පිටියට පැමිණි ඩේවිඩ් මාලන් දවා ගැනීමට ඉසුරු උදාන සමත් විය. පන්දුවාර 17යි 1ක් පන්දුවක දී 130ක ඉලක්කය සපුරා ගැනීමේ දී ජොස් බට්ලර් පන්දු 55කට මුහුණ දී නොදැවී ලකුණු 65ක් රැස්කලේ 4 පහර 8ක් සහ දර්ශනීය 6 පහරක් ද සමගයි. පන්දු 12කට මුහුණ දී 6 පහරක් සහ 4 පහරක් සමග නොදැවී ලකුණු 13ක් රැස් කිරීමට ජොනී බෙයාස්ටෝ සමත් උනා.

ශ්‍රී ලංකා කණ්ඩායම – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂද ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දුර, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම.

එංගලන්ත විස්සයි-20 කණ්ඩායම – එයන් මෝගන් (නායක), ජේසන් රෝයි, ජොනී බෙයාර්ස්ටෝ, ඩේවිඩ් මාලන්, ජොස් බට්ලර්, ලියම් ලිවින්ග්ස්ටෝන්, සෑම් බිලිංග්ස්, මොයිනී අලී, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩෝසන්, ක්‍රිස් වෝක්ස්, ඩේවිඩ් විලී, ක්‍රිස් ජෝර්ඩ්න්, අදිල් රශීඩ්, මාක් වුඩ්.

Rivira FB Group Rivira Youtube
To Top