පසුගිය මැයි මස 12 වන දින ඇමරිකාවේ පුද්ගලික සංචාරයක් සඳහා පිටත්ව ගිය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් පිටු දැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ජුනි 24 වන දින දිවයිනට පැමිණ තිබෙනවා. ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් ජුනි 24 වන දින පෙරවරු 8.30ට පමණ ඔහු මෙරටට පැමිණි බව රිවිර.lk ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළා. බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඔහුගේ බිරිඳ හා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද පැමිණ ඇති බව වැඩිදුරටත් වාර්තා කළා.
කෙසේ වෙතත් පවතින නිරෝධායන රෙගුලාසි අනුගමනය කරමින් දිවයිනට පැමිණි පසු ඔහු පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු වී නිරෝධායනය සඳහා පිටත්ව ගිය බව අමාත්‍ය නිමල් ලාන්සා පවසයි. එමෙන්ම, බැසිල් රාජපක්ෂ මහතා ජනතාවට අනිවාර්යයෙන්ම සහන ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරයි.
එහිදී, අදහස් දක්වමින් නිමල් ලන්සා අමාත්‍යවරයා “අනිවාර්යයෙන් එතුමා පසුගිය කාලයේ කරපු වැඩ ටික බැලුවොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ආර්ථිකය ඉතාමත් හොඳට මෙහෙයවූවා එතුමා. ඒ නිසා තමා දකුණු ආසියාවේ උඩටම ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. ඒ වගේම සංවර්ධනය. ඒ නිසා මං හිතනවා පැහැදිලිවම අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපි බලාපොරොත්තු වෙනවා ජනතාවට සහන දෙන්න.” යනුවෙන් පැවසුවා.
කැබිනට් සංශෝධනයක්?
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැනට පවතින තත්වය විශ්ලේෂණය කිරීමකින් අනතුරුව සැළකිය යුතු තරම් වෙනසක් වන කැබිනට් හා අමාත්‍ය සංශෝධනයක් සිදුවනු ඇති බවයි. එහිදී බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව පිවිසීමත්, ආර්ථික සංවර්ධන හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අමාත්‍යවරයා ලෙස පත්වීමට බොහෝ ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙහිදී අවම කාර්ය සාධනයක් තිබෙන අමාත්‍යවරුන් හඳුනාගෙන ඔවුන්ගේ විෂය පථයන් සීමා කිරීමට ද තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ යටතේ ඇතැම් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙනස් වීම ද සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම සංශෝධනය එක්වර සිදු කිරීමට වඩා වරින් වර සිදු කිරීම කෙරෙහි ද ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

