කොවිඩ්-19

ආයතනවල කොවිඩ් ආසාදිතයින් ගැන තොරතුරු වසන් කරනවා – ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය

ඇතැම් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගන්නා අවස්ථාවලදී ඔවුන් පිළිබඳව තොරතුරු වසන් කිරීමේ තත්ත්වයක් නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එබැවින්, මින් ඉදිරියට එලෙසින් කොවිඩ් ආසාදිතයින් පිළිබඳව තොරතුරු වසන් කරන ආයතනවලට එරෙහිව නිරෝධායන පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, ජුනි 25 වන දින පැවති මාධ්‍ය හමුවක දී ය.

එහිදී, අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා, “ඇතැම් රාජ්‍ය ආයතනවල හා පෞද්ගලික ආයතනවල කොවිඩ් ආසාදිතයෝ වාර්තා වුනාම ඔවුන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගවලින් බැහැරව ඒ ආයතන පවත්වාගෙන යෑමේ ගැටලු නිර්මාණය වෙන නිසා ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ හෝ ඇන්ටිජන් පරීක්ෂණවලට භාජනය නොකර ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් නොකර ඔවුන් රහසිගතව සඟවාගෙන කටයුතු කරන ආකාරයක්.

කෙසේවෙතත්, මේ තත්ත්වය නිසා ඒ රාජ්‍ය ආයතනවලින් සහ පෞද්ගලික ආයතනවලින් සේවාව ලබා ගන්න යන සාමාන්‍ය සේවා ලාභීන්ට බරපතල අසාධාරණයක් වෙනවා. ඔවුන් ආසාදිතයෝ විදියට වාර්තා වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ආයතන තුළත් මේ තත්ත්වය අපිට වාර්තා වෙලා තියෙනවා.

ඒ නිසා අපි දැඩිව කියනවා සියලුම රාජ්‍ය ආයතනවලට සහ පෞද්ගලික ආයතනවලට තමන්ගේ දිස්ත්‍රික්කය තුළ, තමන්ගේ පරිශ්‍රය තුළ, තමන්ගේ කාර්යාලය තුළ කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වුනොත් ඒ සම්බන්ධව ඔවුන් නෛතික වශයෙන් බැඳිලා ඉන්නවා අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හෝ දැනුවත් කරන්න.

කුමන තරාතිරමක සෞඛ්‍ය ආයතනයක් වුනත්, කුමන තරාතිරමක පරිපාලන නිලධාරියෙක් වුනත් අදාළ කොට්ඨාශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයාට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට මේ සම්බන්ධව දැනුවත් කළේ නැත්නම් නිරෝධායන ආඥා පනත ප්‍රකාරව ඔවුන් වරදක් කරනවා වගේම ඔවුන්ගෙන් සේවාව ලබා ගන්න එන මහජනතාවටත් දැඩි අසාධාරණයක් කරනවා.

ඒ නිසා එහෙම අවස්ථාවක් මින් ඉදිරියට වාර්තා වුනොත් නෛතික ක්‍රියාමාර්ග ගන්නවා. දිවයින පුරා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සම්බන්ධව දැඩි අවධානයකින් කටයුතු කරනවා.” යැයි පැවසුවා.

Rivira FB Group Rivira Youtube
To Top