දේශීය පුවත්

අසත්‍ය තොරතුරු පළ කළැයි අත්අඩංගුවට පත් අසේල සම්පත් වෙනුවෙන් සජිත් පෙරට

ඇස්ට්‍රා සෙනිකා එන්නතට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කොට ජනතාවට එන්නත් කරන බවට සමාජ මාධ්‍යවල වීඩියෝවක් මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල පැළැන්වත්ත ප්‍රදේශයේ දී ජුනි 25 වන දින රාත්‍රියේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

අසේල සම්පත් විසින් සිදුකළ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළව විමර්ශන කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

සැකකරු ජුනි 26 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අතර, අසේල සම්පත් මහතාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට සමගි ජනබලවේගය කැප වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු වෙනුවෙන් නොමිලේ නීතිමය සහයෝගය ලබා දීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

එමෙන්ම, සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියන්ට තම හෘද සාක්ෂිය අනුව කථා කිරීමේ අයිතිය ද, සෑම කෙනෙකුට ම ඔවුන්ගේ නිදහස භුක්ති විඳීමේ අයිතිය ද සුරක්ෂිත විය යුතු බවත් ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය තිරසරව පෙනී සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top