දේශීය පුවත්

මුහුණු පොතේ අපහාස කළ මිතුරන් දෙදෙනාව ලී කොටයේ තබා ඇණ ගහලා

මුහුණු පොත හරහා තමාට සිදු කළ අපහාසයක් හේතුවෙන් ජුනි 25 වන දින පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද හිංසා පමුණුවීමේ සිද්ධියක් බලගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම සිද්ධියට අදාළ 30 හැවිරිදි දුෂ්මන්ත නමැති ප්‍රධාන සැකකරු අම්පිටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් වන අතර ඔහුට මෙම අමානුෂික සිදුවීම සඳහා තවත් සැකකරුවන් සහය වී තිබෙනවා. කෙසේවෙතත්, ප්‍රධාන සැකකරු සහ අනෙක් පිරිස මේ වන විට අතුරුදහන් වී ඇති බව පොලීසිය පවසයි.

අදාළ මිතුරන් දෙදෙනා තම නිවසට කැඳවා පසුව පැහැරගෙන අම්පිටිය ප්‍රදේශයට ගෙන ගොස් එහිදී එම පුද්ගලයින් දෙදෙනා කුරුසියට තබා ඇණ ගසන ආකාරයට ලී කොටයක තබා ඇණ ගසා වද හිංසා පමුණුවා ඇති බවයි වාර්තා වන්නේ. එම සිද්ධියෙන් තුවාල ලැබූ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි හා කඩුවෙල බෝමිරිය පදිංචි 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනා මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ වන විට සැඟව සිටින ප්‍රධාන සැකකරු හා අනෙක් පුද්ගලයින් සොයා බලගොල්ල පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top