අපරාධ වාර්තා

15 හැවිරිදි දියණිය ලිංගික ජාවාරමේ යෙදවූ මව ඇතුළු 17ක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් වයස අවුරුදු 15ක දැරියක ලිංගික සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ මහතා පවසයි.

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හට ලැබුණු තොරතුරු මත ඉකුත් ජූලි 7 වැනි දින දැරිය රඳවාගෙන සිටි කුලී නිවස වටලා අදාළ දැරිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණි. පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කාන්තා හා ළමා කාර්යාංශය වෙත යොමු කිරීමෙන් අනතුරුව සිදු කරන ලද විමර්ශනවලදී මෙම සැකකරුවන් 17 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර දැරියගේ මව, තවත් කාන්තාවක්. ලිංගික කටයුතු සඳහා දැරිය ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයේ රියදුරු, මෝටර් රථ රියදුරෙකු, දැරියගේ ඡායාරූප ඇතුළත් කරමින් අන්තර්ජාලයේ දැන්වීම සකස් කළ පුද්ගලයින් හා දැරිය ලිංගික අපචාරයට ලක් කළ පුද්ගලයින් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. එමෙන්ම, දැරිය ලිංගික අපචාරයට ලක් කළ පුද්ගලයින් අතර චීවරධාරියෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙම දැරිය මාස තුනක පමණ කාලයක් තිස්සේ රුපියල් 10,000 සිට 30,000 දක්වා මුදලකට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර තිබෙනවා. දැරිය ලිංගික අපචාරයට ලක් කරන ලද තවත් පුද්ගලයින් 20 දෙනෙකු ගේ පමණ තොරතුරු හෙළිව ඇති බවත් ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

Rivira FB Group Rivira Youtube
To Top