Politics

කාක් තට්ටෙන් ආණ්ඩුව ගොඩදමන හැටි ඇමති ජොන්ස්ටන් කියයි

වත්මන් රජය හා ජනාධිපතිවරයා හොඳ වැඩි බැවින් ආණ්ඩුවේ වැඩ කටයුතු සඳහා බාධා ඇති වන බවත් එබැවින් එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් සියල්ල සුද්ද වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

තිස්ස වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සිදු කරන ලද්දේ රජයෙන් බවත් නමුත් ඊට විරුද්ධ වූයේ ද රජයේම ආයතනයක් වූ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව බවත් අමාත්‍යවරයා පවසනවා.

මහාමාර්ග අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වයඹ ඇළ වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳව ජුනි 29 වැනි දින පැවති සාකච්ඡාවකදී රැස්ව සිටි පිරිස අමතමින් ය.

අමාත්‍යවරයා එම අවස්ථාවේ දී පළ කළ අදහස් මෙසේ ය.

“දැන් බලන්න තිස්සමහාරාමේ ව්‍යාපෘතිය. ඒක හොඳ වැඩක්. කවුද කරන්නේ? ආණ්ඩුවෙන්. කොයි අමාත්‍යාංශයෙන් ද විරුද්ධව කතා කරන්නේ? පුරාවිද්‍යාවෙන්. ඒක කාගෙද? ඒකත් ආණ්ඩුවේ. ආණ්ඩුවේ වැඩක් කරනකොට අපි කවුරුත් ගෙදර ගෙනියන්නේ නෑනේ. ඒ නිසා ඇමතිතුමා ගත්තාම තීන්දුවක් එහේ කුරුණෑගල මෙහේ ප්‍රාදේශීය ලේකම්තුමා කියනවා නම් අනුමැතියක් අරන් නැහැ කියලා. ඒක ආණ්ඩුවක් නෙමෙයිනේ. එහෙනම් ආණ්ඩු දෙකක්.

රජයේ වැඩක් කරගෙන යද්දී ඒක රජයෙන් අනුමත කළාම සියලුම අමාත්‍යාංශ ඒකත් එක්ක හිටගන්න ඕනේ. අනුමැතියක් අරගන්න තියෙනවා නම් කෝල් එකක් දීලා කියන්න ඕනේ අනුමැතිය අරන් නෑ කොළයක් එවලා අනුමැතිය දෙන්න. අපිට වෙලා තියෙන්නේ අපේ ජනාධිපතිතුමායි ආණ්ඩුවයි හොඳ වැඩියි නේ. ඒක තමයි වෙලා තියෙන්නේ.

එක කාක්කෙක් මරලා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්දයි. ඒක තමයි ඇත්ත කතාව.”

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top