අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් 15 හැවිරිදි දැරියක ලිංගික ජාවාරමේ යෙදවිමේ සිද්ධියට අදාළව තවත් තිදෙනෙකු කාන්තා හා ළමා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා අතර දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ද සිටියි. අනෙක් පුද්ගලයා දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට සහය දුන් පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ය. අත්අඩංගුවට පත් වූ සැකකරුවන් තිදෙනා ජුලි 01 වැනි දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම සිද්ධියට අදාළව ජුනි 30 වන දින පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ජුනි 07 වැනි දින 15 හැවිරදි දැරිය රඳවා ගෙන සිටි කුලී නිවස වටලා එම දැරිය හා තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
ජුනි 30 වන දින අත්අඩංගුවට පත් වු පුද්ගලයින් 17 දෙනා අතර දැරියගේ මව, දැරිය අලෙවි කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ, ලිංගික කටයුතු සඳහා දැරිය ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයේ රියදුරු, මෝටර් රථ රියදුරන් දෙදෙනෙක්, දැරියගේ ඡායාරූප ඇතුළත් කරමින් අන්තර්ජාලයේ දැන්වීම සකස් කළ පුද්ගලයා, චීවරධාරියෙක් හා දැරිය ලිංගික අපචාරයට ලක් කළ පුද්ගලයින් ද වේ.
මෙම දැරිය මාස තුනක පමණ කාලයක් තිස්සේ රුපියල් 10,000 සිට 30,000 දක්වා මුදලකට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර තිබෙන බව හෙළිව ඇත. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හට ලැබුණු තොරතුරු මත ජුනි 07 වැනි දින අදාළ වැටලීම සිදු කර ඇත.
සම්බන්ධිත පුවත්

