News

Update: වනජීවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන හමුදා මේජර් ජනරාල්වරයාට ඇප හිමිවෙයි

Update at 1.27 PM

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී වන ජීවි නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ යුද හමුදා මේජර් ජනරාල්වරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කැකිරාව මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා නියෝග කර තිබෙනවා.

____________________________________________________________________________________________________________________________

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට පැවසෙන හමුදා මේජර් ජනරාල්වරයා හබරණ පොලීසියට භාර විමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ මහතා පවසයි.

අදාළ මේජර් ජනරාල්වරයා හබරණ පොලීසිය වෙත ජුලි 01 වැනි දින උදෑසන පැමිණ භාර වීමෙන් අනතුරුව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන යුද හමුදා මේජර් ජනරාල්වරයා සහ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය ජුනි 30 වැනි දින හබරණ පොලීසියට නියෝග කළා.

ඒ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරී කළ වනජීවි නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කරමින් මරණීය තර්ජන එල්ල කළ මේජර් ජනරාල්වරයෙකු සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ලැබී තිබූ පැමිණිල්ලකට අදාළව පොලීසිය බී වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ දී ය.

ජුනි 23 වැනි දා රාත්‍රියේ දී මින්නේරිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වු යුද හමුදා වාහන දෙකක් පරීක්ෂා කිරීමට යාමේ දී බහින්බස්වීමක් ඇති වු බවයි වනජීවි නිලධාරින් සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මණ්ඩලයක් පත් කර තිබෙනවා. එම සිදුවීමට අදාළව සියලු කරුණු විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙස ජ්‍යෙෂ්ඨ මේජර් ජනරාල්වරු දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු එම පරික්ෂණ මණ්ඩලයට හමුදාපතිවරයා උපදෙස් ලබා දී ඇත.

මීට සමගාමීව යුද හමුදා පොලීසිය විසින් ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top