දේශපාලන

“අද කිසිම ගොවි මහතෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නෑ” – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

තමාට විරුද්ධව උද්ඝෝෂණ කිරීමට ගොවි ජනතාවට සාධාරණ අයිතියක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කාබනික පොහොර භාවිතා කිරීමෙන් රට ආපස්සට යාමක් සිදු නොවන බවත් එය ලෝකය සමඟ ඉදිරියට යාමක් බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් මෙම අදහස් පළ කළේ, ජුලි 01 වැනි දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ දිස්ත්‍රික් ගොවි නියෝජතිවරු ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී ය. එම බල මණ්ඩලය ගොවීන් ලක්ෂ 11ක් ගොවි සංවිධාන 17,000ක් සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන 563කින් සමන්විත වෙනවා.

මෙම අවස්ථාවට කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, අමාත්‍යාංශ ලේකම්වරු පිරිසක් ද එක්ව සිටියා.

ජනාධිපතිවරයා එම අවස්ථාවේ දී පළ කළ අදහස් මෙසේ ය.

“සමහර අය පෙන්නන්න හදනවා, මේක මේ අපි ආපස්සට යන්න හදන ගමනක් කියලා. අද කාබනික පොහොර ඉහළම තැනක පවතින්නේ. මුළු ලෝකයම අද එතන්ට තමයි යන්නේ. ඒක ආපස්සට යාමක් නෙමෙයි. ඉදිරියට යාමක්. දැන් අපි දන්නවා, අද ඔය කාබනික පොහොර ගෙන්වීමට විරුද්ධව කතා කරන අය කන්නේ කාබනික පොහොරවලින් හදපු ආහාර. ඒවා කාලා අනිත් අයට කවන්න හදනවා මේ වස විස දාලා හදපු කෑම.

මගේ ආරක්ෂක අංශයේ ඉන්න, ආරක්ෂක නිලධාරීන් හුඟ දෙනෙක් එන්නේ ඔය ගම්බද ප්‍රදේශවලින්. මම දන්නවා ඒගොල්ලොන්ගේ පවුල්වල තියෙන ප්‍රශ්න. අම්මා, තාත්තා, පොඩි අයට පවා වකුගඩු රෝග. පිළිකා රෝග…මේවායින් කවුද දුක් විඳින්නේ.. ගොවියා. ඒක නිසා එදා යම්කිසි මුදලක් පොහොර වලට ගියා නම් ඒක අද නොමිලේ හම්බුනා. ඊළඟට එදා රුපියල් 30කටත් විකුණගන්න බැරිව විශාල මෝල් හිමියන් ගත්තේ රුපියල් 25ට 28ට ගත්තේ වී. අද 50ට සහතික මිලක් දීලා තියෙන වෙලාවේ තමුන්නාන්සේලා දන්නවා 55ට 58ට 60ට 65ට 70ටත් වී විකුණනවා. ඒක ගොවියාට යනවා නම් අපිට කමක් නෑ.

ඇත්තටම මේවා දිහා බලනකොට අද කිසිම ගොවි මහතෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නෑ. දැන් හුඟක් අය හිතනවා කුණු එකතු කරලා කොම්පෝස්ට් හරි හදලා ඒක ටොන් ගණන් දාන්න ඕනේ කියලා කුඹුරට. එහෙම නෑ. ඒක නෙමෙයි. අද තාක්ෂණය හරිම දියුණුයි.

දැන් මතක තියා ගන්න. මේක එක පොහොරක් නවත්තලා තවත් පොහොරක් දීමක් පමණක් නෙමෙයි. මේක දේශීය ආර්ථිකයකුත් එක්කයි මේ යන්නේ. මිලියන 80,000ක අපි මේ පොහොර ගෙන්නන්න මේ රට වියදම් කරනවා. දැන් කාටද මේ සල්ලි යන්නේ. සල්ලි යන්නේ පිටරට ඉන්න සමාගම්වලට. මේ රටේ කවුද සමාගම් හතරක් පහක් තමයි මේකෙන් සල්ලි හම්බකරන්නේ. නමුත් මේ අපි ගත්තු තීරණය නිසා මේ ආර්ථිකය දේශීය ආර්ථිකයක් බවට පත්වෙනවා. අපිට පුළුවන් මේ පොහොර පිටරට කර්මාන්තවලට දීපු ඒ මුදල් ගොවි මහත්තයා අතට දෙන්න. තමුන්නාන්සේලා අතට දෙන්න. පොහොර ප්‍රමාණය ලබා දෙනවා පමණක් නෙමෙයි. පිටරටට ගිය බිලියන ගාණක මුදල අපි ගොවි මහත්මයාට දෙනවා. මේ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට දෙනවා.

එදා රසායනික පොහොර භාවිතයේ දී තමුන්ට ඒ ඒ අවස්ථාවන්වලදී ලැබුනා වගේ අපි කාබනික පොහොර ඒ ඒ අවස්ථාවේ දී දැමිය යුතු දේවල් අපි තමුන්නාන්සේලාට ලබා දෙනවා. තමුන්නාන්සේලාට බය වෙන්න හේතුවක් නෑ. ඒ පොහොර සමාගම් හා සම්බන්ධ ඒ සියළුදෙනාම ඒ ගොවි මහතා මුළා කරනවා. ඔය උද්ඝෝෂණ පෙන්නන ඒ සමහර මාධ්‍ය සමාගම් පොහොර ගෙන්නන්නෙත් ඒගොල්ලො. ඉතින් ඒගොල්ලො උද්ඝෝෂණ කරවනවා.

මම තමුන්නාන්සේලාට සහතික වෙනවා ගොවි මහතුන්ට ලබා දුන් ඒ ආර්ථිකය අපි දියුණු කරනවා මිසක් අපි කඩාවට්ටන්නේ නෑ”

එමෙන්ම, මේ අවස්ථාවේ දී අදහස් පළ කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ, කෘෂිරක්ෂණ මණ්ඩලය හරහා ජුලි 01 වැනි දින සිට ගොවි රක්ෂණය ලබා දීම ආරම්භ කළ බවයි. එමෙන්ම, වසර 40කට පසුව සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක්ම අලුත්වැඩියා කර, අලුත් උපකරණ හා පරිගණක යන්ත්‍ර ලබා දෙමින් නවීකරණය කිරීම ආරම්භ කර ඇති බවත් වසර අවසන් වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන 47ක සියලු වැඩකටයුතු අවසන් වන බවත් අමාත්‍යවරයා පැවසුවා.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ, ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති එස්.එම්.ජී. සමරකෝන් මහතා පැවසුවේ වසර 20ක් පමණ ගත වෙද්දී වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් අඩු වන විට ජනාධිපතිවරයා විසින් කාබනික පොහොර භාවිතය සඳහා ගත් තීරණය පිළිබඳව අනාගත පරම්පරාව ජනාධිපතිවරයාට ස්තූතිය පුද කරන බවයි.

“අපි එදා හේන් කළා. බඩ ඉරිඟු වගා කරනකොට අපි එදා රසායනික පොහොර දැම්මේ නැහැ අතිගරු ජනාධිපතිතුමනි. හැබැයි අපිට හොඳ බීජ ටිකක් තිබ්බා. අපේ බීජ අපි හිටෙව්වේ. අපි රසායනික පොහොර දැම්මේ නැහැ. අද අපිට ඇලේ තියා අපේ ළිඳේ වතුර ටිකක්වත් බොන්න නැති කාලයකට අපි පත්වෙලා තියෙනවා.

ඉතින් ඒ නිසා ඔබතුමාලා ගත්තු මේ පියවර අපි ඉතාම උතුම්කොට සලකනවා. තව අවුරුදු 20ක් විතර යනකොට වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් අඩු වෙනකොට, ඒ කාලේ වෙනකොට අපේ දරුවෝ, අපේ දරුවන්ගෙත් දරුවෝ ඔබතුමාලට ස්තූතිවන්ත වෙයි. එතකොට අපි නම් ජීවතුන් අතර නැති වෙයි.

අපි ඔබතුමාට ඊළඟ අලුත් සහල් මංගල්‍යයට කාබනික හොඳ ආහාර වේලක් පූජා කරනවා. ඔබතුමාට හාල් පාත්‍රයක් පූජා කරන බවට අපි පොරොන්දු වෙනවා.”

Rivira FB Group Rivira Youtube
To Top