ශ්‍රී ලංකාව පළමු වරට මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකෙන් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා 26,000ක් ජුලි 05 වන දින අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. අදාළ එන්නත් තොගය ඇමරිකාවේ සිට කටාර් හරහා අලුයම 2.15ට කටුනායක ගුවන් තොටුපොළට ළඟා වී තිබුනා.
ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු රටකට ලැබුණු පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකේ. මෙම එන්නත සෙල්සියස් අංශක සෘණ 70ක උෂ්ණත්වයක් යටතේ ගබඩා කර තබා ගත යුතු බැවින් මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑ සැනින් කටුනායක ගුවන් තොටුපොළ ආනයක ගුවන් භාණ්ඩ සංකීර්ණයේ විශේෂ අධිශීතකරණ තුළ ගබඩා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉන්පසුව විශේෂ අධි ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් නාරාහේන්පිට ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබුණා.
ජුලි මස අවසන් වන විට ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ 02කට අධික සංඛ්‍යාවක් මෙරටට ලැබීමට නියමිත බවත් ඒවා ජුලි 12 හා ජුලි 19 යන දෙදින තුළ මෙරටට ලැබිමට නියමිත බවයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.
මෙම ෆයිසර් එන්නතේ පළමු තොගය කුමන කණ්ඩායම් වෙත ඉලක්ක කරන්නේ ද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුව විසින් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවත් ගැබිණි මව්වරුන් ඇතුළු ඉලක්කගත කණ්ඩායම් කිහිපයක් වෙත අවධානය යොමු වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

