News

සංචාරකයින් ගෙන්වා ගැනීමේ කටයුතු වේගවත් කිරීමට ඇමතිගෙන් උපදෙස්

මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීමේ කටයුතු වේගවත් කිරීමට කඩිනමින් සැලැස්මක් සකස් කරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම, ඊට අදාළ වාර්තාවක් දින දෙකක් ඇතුළත තමාට ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

සංචාරක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජුලි 05 වැනි දින අමාත්‍යාංශයේ දි පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

සංචාරකයින්ට මෙරට විවෘත කිරීමෙන් අනතුරුව ජුලි 04 වැනි දින දක්වා පැමිණි සංචාරකයින් 17,469 දෙනෙකු අතරින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ 183 දෙනෙකු බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. එම ආසාදිතයින් 183 දෙනා අතරින් 138 දෙනෙකු ම ප්‍රතිකාර ලබා සුව වී නැවත සිය රටවල් බලා පිටත්ව ගොස් ඇති බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ආරම්භ කෙරුණු සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය යටතේ සංචාරකයින් 2258 මෙරටට පැමිණ ඇති අතර ඉන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ 09 දෙනෙකු පමණකි.

ඉන්පසුව ජනවාරි මාසයේ සිට ජුනි 04 වැනි දින දක්වා සංචාරකයින් 4581 වූ වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ මාර්තු මාසයේ දී ය. සංචාරකයින්ට රට විවෘත කිරීම හේතුවෙන් මෙරට කොවිඩ් වසංගත පැතිරුණ බවට විවිධ පාර්ශව සිදු කරන ලද චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික විජේසිංහ මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

To Top