අන්තර්ජාලය හරහා 15 හැවිරිදි දැරියක ලිංගික ජාවාරයේ යෙදවීමේ සිද්ධියට මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහොමඩ් අෂ්මලි නම් 45 හැවිරිදි සැකකරු සහ හෝටල් සේවකයෙකු ජුලි 04 වන දින පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර එදින මොවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කර ඇත.
මාලදිවයිනේ රාජ්‍ය අමාත්‍යවරයා, කොළඹ ප‍්‍රදේශයේ හෝටලයක අයකැමියකු වන දිසානායක මුදියන්සේලාගේ මාංලිග, එක් වෙබ් අඩවියක හිමිකරු වන පානදුර ප‍්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා සහ එම වෙබ් අඩවියේ මූල්‍ය කළමණාකරු වන බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය යන පුද්ගලයින් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මේ අතර, මෙම දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කළ තවත් වෙබ් අඩවි තුනක තොරතුරු හෙළි කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ඒ අනුව, මෙම දැරිය වෙබ් අඩවි පහක් හරහා අලෙවි කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෙම වෙබ් අඩවි අතරින් වෙබ් අඩවි දෙකක හිමිකරුවන් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් සොයා පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා.
එමෙන්ම, මෙම දැරිය ලිංගික ජාවාරමේ යෙදවූ හෝටල් හා නවාතැන්පොළවල් කිහිපයක් හඳුනාගෙන ඇති බවත් ඒවායේ හිමිකරුවන් හා කළමනාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මෙම දැරිය අයිස් මත්ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහි වී සිටින්නියක් බවත් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු විසින් ඇයට මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවත් හෙළි වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 32ක් වන අතර ඔවුන් අතර දැරියගේ මව, ඇගේ අනියම් සැමියා ද වන අතර දැරිය අපයෝජනය කළ පිරිස අතර මැණික් ව්‍යාපාරිකයෙකු, චීවරධාරියෙකු, මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, නැවක කපිතාන්වරයෙකු ඇතුළු පිරිසක් ද සිටියි.
සම්බන්ධිත පුවත්
- 15 හැවිරදි දැරිය ලිංගික අපයෝජන කළ සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවට
- මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා පොහොට්ටුවෙන් පන්නයි
- 15 හැවිරිදි දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කළ සිද්ධියට ප්‍රා. සභා උප සභාපතිවරයෙක් අත්අඩංගුවට
- 15 හැවිරිදි දියණිය ලිංගික ජාවාරමේ යෙදවූ මව ඇතුළු 17ක් අත්අඩංගුවට

