Politics

සියලු නගර අද රාත්‍රියේ සිට සැරසෙයි! බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනයට සියල්ල සූදානම්, දිවුරුම් දීම හෙට හෝ අනිද්දා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජූලි 06 දින පෙරවරුවේ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ.

එම අවස්ථාවට පක්ෂ මහලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ද සහභාගී වී ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වන්නේ හිටපු අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පිවිසීම සඳහා අවස්ථාව හිමිකර දීමට බවයි.

මේ අනුව ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් අසුනක් පුරප්පාඩු වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට නියමිතයි. ඒ අනුව, එම පුරප්පාඩුව සඳහා බැසිල් රෝහණ රාජපක්ෂ පත් කරන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමට නියමිත අතර එම ධූරය සඳහා ඔහුගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ඇත.

මේ අතර, ජූලි 06 දින රාත්‍රියේ සිට සියලු නගර සරසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරුන් වෙත උපදෙස් ලැබී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඉන් අනතුරුව ජූලි 07 දින හෝ 08 දින බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ආර්ථික සංවර්ධනය ඇතුළත් ප්‍රබල අමාත්‍යධූරයක ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා. ඊට සමගාමීව අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ විෂය පථයන් සංශෝධනයට ලක් වීමට නියමිත අතර කැබිනට් සංශෝධනයක් ඒ අනුව සිදුවීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත් කිරීමට නියමිත බව ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා. ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ අවශ්‍යතාවය හඳුනාගෙන තමන් සතුටින් ඉල්ලා අස්වූ බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top