News

15 හැවිරිදි දැරිය අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර්වරයා රිමාන්ඩ්

අන්තර්ජාලය හරහා 15 හැවිරිදි දැරියක් ලිංගික ජාවාරමේ යෙදවීමේ සිද්ධියට අදාළව ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර් දිමුතු ද සිල්වා මහතා ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ජුලි 06 වැනි දින නියෝග කළා ය.

අදාළ සැකකරු ජුලි 09 වැනි දින හඳුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට සැකකරුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ලබාදෙන ප්‍රකාශය ගැන හිතා බලා ලබන 09 වැනිදා අදාල ප්‍රකාශය ලබාදීමට සූදානම්ව පැමිණෙන ලෙසට ද අධිකරණය සැකකරුට නියෝග කළේය.

මෙම සැකකරු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් තැනැත්තා ජුලි 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කළේය.

මේ අතර, මෙම නඩුවට අදාළ 09,11 සහ 13 වැනි සැකකරුවන් වන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් තමන් රහස් ප්‍රකාශ ලබා දීමට සූදානම් බව ජුලි 06 වැනි දින අධිකරණය වෙත දැනුම් දී තිබේ. ඒ සඳහා ඔවුන් ජුලි 07 වැනි දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.

සම්බන්ධිත පුවත්

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top