දේශීය පුවත්

අන්තරේ නීති විරෝධී රැස්වීම අතරතුර රට අනතුරේ දැමූ 31ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ ඇති එකම රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය වඩාත් ඵලදායී ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූවේ දී ජුලි 08 වැනි දින පෙරවරුවේ දී අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ නීති විරෝධී උද්ඝෝෂණයක් අතරතුර පොලීසිය විසින් පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෛරසයෙන් ප්‍රබල බලපෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ දෛනික ආසාදිතයින් ගණන පාලනය කිරීමේ අසීරු කටයුත්තක සෞඛ්‍ය අංශ නිරත වී සිටින අවස්ථාවක ඊට ඍජුවම හානි කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් අහිංසක විශ්වවිද්‍යාල සිසුන්ගේ ද ජීවිත බිල්ලට දෙමින් සංවිධානය කර තිබූ එකී නීති විරෝධී රැස්වීම කලහාකාරී අයුරින් පැවැත් වූ අතර එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් සමග ඉතාමත් අශෝභන ආකාරයෙන් හැසිරෙන ආකාරය දකින්නට තිබුණි. එහි සිටි කාන්තා පොලිස් නිලධාරිනියන් වෙත අසභ්‍ය වචන කියමින් තල්ලු කරමින් පිරිස් හැසිරුණු අතර පොලිස් නිලධාරීන් සමග දැඩි කලහකාරී ස්වාභාවයකින් හැසිරීම දක්නට ලැබුණි.

මෙහිදී තමන්ගේ ජීවිත ද නොසලකා වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා කලහකාරී පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ අතර ඒ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් හා රත්කරව්වේ ජිනරතන හිමි ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. එමෙන්ම, තවත් භික්ෂූන් වහන්සේ නමක් හා කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වේ. මෙම භික්ෂූන් වහන්සේ ද භික්ෂුවකට නොගැලපෙන අයුරින් දැඩි අශෝභන ආකාරයෙන් හැසිරීම බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයකට ලක් වූ කරුණක් විය.

අත්අඩංගුවට පත්වු පිරිස නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර, අකුරැස්සේ දී විරෝධතාවයක් දැක්වූ පුද්ගලයින් 13 දෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත් සහ අජන්ත ගම්මැද්දගේ යන දෙදෙනා ද වන බව වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top