ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ නිලධාරීන් 07 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් වූ සැකකරුවන් ජුලි 10 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
එසේම, කොළඹ වරායේ නාවික මෙහෙුයම් මැදිරියේ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදනවලට අදාළ දත්ත මැකී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ ජුලි 09 දින කරුණු වාර්තා කර තිබෙනවා.
එහිදී, 2021 මැයි මස 01 වැනිදා සිට ජුනි මස 10 වැනිදා දක්වා අතර කාලයට අදාළව වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ දත්තයන් මැකී ගොස් ඇති බවට කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරිය වාර්තාවක් මගින් තමන්ට දැනුම් දී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් මෙම දත්ත මැකී ගොස් ඇති බවට කොළඹ වරාය සදහන් කරන බැවින් ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා වෙත අදාළ යන්ත්‍රය ඉදිරිපත් කර එකී දත්ත මැකී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අනුව අදාළ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් අධිකරණය වත ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලදී.
මේ අතර, පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගිනි ගැනීමට ලක් වූ නැවේ තිබූ ප්ලාස්ටික් ඇට සහිත මලු හයක් සහ ප්ලාස්ටික් ඇට විශාල ප්‍රමාණයක් මොරටුව, රත්මලාන, අඟුලාන වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන බව වාර්තා වේ. එමෙන්ම, ගිනි ගැනීමට ලක් වූ විවිධ ද්‍රව්‍ය කොටස් ද වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන අතර අඟුලාන පොලීසිය විසින් ප්ලාස්ටික් ඇට සහිත මලු හය භාරගෙන ඇති අතර එය වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත යැවීමට නියමිත බව වාර්තා වේ.

