දේශීය පුවත්

අත්‍යාවශ්‍ය සේවා සාමාජිකයින්ට පළාත් අතර පොදු ප්‍රවාහනය ලබන බදාදා සිට

අත්‍යාවශ්‍ය රාජකාරිවල නියුතු පිරිස් සඳහා ලබන ජුලි 14 වන බදාදා දිනයේ සිට අන්තර් පළාත් දුම්රිය සහ බස් රථ කිහිපයක් ධාවනයට යොදවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජුලි 12 වන දින මහනුවර ගඟවට කෝරළයේ පැවති එන්නත්කරණ වැඩසටහනකට එක්වෙමින් ය.

ඒ අනුව, අදාළ සේවාවන් ලබා ගැනිමට අපේක්ෂා කරන අත්‍යාවශ්‍ය සේවා සාමාජිකයින් තමන්ගේ රාජකාරි හැඳුනුම්පත හෝ රාජකාරි තහවුරු කිරීමේ ලිපියක් ළඟ තබා ගැනීම අනිවාර්ය වේ.

මේ අතර, අත්‍යාවශ්‍ය පෞද්ගලික කටයුතු සඳහා විවිධ ආයතන වෙත පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයින් හට ද මෙම අන්තර් පළාත් බස්රථ හා දුම්රිය භාවිතා කරමින් සිය අවශ්‍යතා ඉටු කර ගත හැකි වන අතර ඔවුන් ද සිය අවශ්‍යතාවය තහවුරු වන ආකාරයේ ලියවිල්ලක් ළඟ තබා ගත යුතුයි.

“බදාදා සිට නැවතත් සීමා සහිත ධාවනය ආරම්භ කරනවා. උදාහරණයක ට වැඩට යන කෝච්චි ටික සහ හවසට ආපහු ඒ අය නිවෙස්වලට යන කෝච්චි ටික. ඒ වගේම පළාත් අතර රාජ්‍ය සේවකයින් සහ අත්‍යවශ්‍ය පෞද්ගලික සේවකයින්ට කියපු නීති රීතිම අනුගමනය කරන්න ඕනේ. තමන්ගේ රාජකාරි හැඳුනුම්පත තිබිය යුතුයි බස් රථයට දුම්රියට ගොඩවෙන්න. පෞද්ගලික රාජකාරි නම් ඒ හැඳුනුම්පත් තිබිය යුතුයි. ඒ දවසට අදාළ ලියකියවිලි ළඟ තිබිය යුතුයි. මේ අයට ගමන් කිරීමට බදාදා සිට අපි යම් දුම්රිය හා බස්රථ ප්‍රමාණයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා.“

අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් මෙම ප්‍රවාහන සේවය භාවිතා කරන ලෙස ද අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.

තවද, දළදා පෙරහැර පැවැත්වීමට පෙර මහනුවර සිටින සියලුම වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට එන්නත්කරණය කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top